Wednesday, August 12, 2020

පොල් වරුණ

 


කොකොස් නුසිෆෙරා නම් ටිකක් අමුතුයි කියා 

කිව්ව හැටි මතක් වෙයි පන්තියෙදි ගුරු පියා 

පොල් මල් ද ගෙනත් විච්ඡේදනය කර  පියා 

කියා දුන්නා එදා මලට පෙති නෑ කියා 


මුහුදු බඩ මග දිග මගේ   එකල  යන  විටකදී 

පොල් ලෙලි වලේ 'සුවඳ' නහය අග රග දිදී 

පොල් ලෙල්ල තලන හඬ කණ ලඟම රැව් දිදී 

පෙක්ටින් දියවෙලා වෙන්වුණා පොල් කෙඳි 


පොල් කොළ ද පොල් පිති ද කොලපු මටොලු ද සොයා 

ඇවිද ගිය මතක තව නැතේ සිත හැර  පියා 

නවයක්ම පොල් අතුද නවම් මසටම කියා 

වියන හැටි පොල් අත්ත  කියා දුන්  නෑසියා


පොල් බෑය ගාන්නේ මෙන්න මෙහෙමයි කියා 

පොල් ගාපු කාලෙ දැන් ආපස්සටම        ගියා 

පොල් නැතුව තාම නම් හොද්ද රස නෑ   කියා 

පොල් කිරීම පිටි වෙලා රාක්කේ  ඇත    තියා 


පොල් ගෙඩිය බින්දාට නැකත හරියට තියා 

හැම නෙත්ම හැරෙන්නේ මනමාලි සොය සොයා 

අනාගත ජීවිතේ තීරණය දෙන   නියා

පොල් ගෙඩිය ඔයා නම් හරිම පුදුමයි මෙයා 


පොල් වතුර ටික බොන්න කෝප්පය කල් තියා 

තියාගෙන කුස්සියේ බලාගෙන උන් නියා 

මතක් කර තව ලංසු ඉහළින්ම තිය තියා 

ගසින් ගස සිඳිනවා පොල් වත්තෙ ලොකු මයා 


පොල් ගෙඩිය නිකන් ඔහෙ ගස් යටම  පැළ  වෙලා 

පොල් මදේ රස කරල කෑව හැටි සිහි වෙලා 

එලොව පොල් පෙනී පෙනී රට යද්දී දුක් වෙලා 

පොල් ගෙඩිය ඔන්න  දැන් සීයකුත් පහු වෙලා  


සියලු සත්වයො  සදා  නිදුක් වේවා කියා 

ඊයෙ කියූ වදන් අද අමතකව ඇති නියා 

හැඳි ගෑවිලාම පල දෙස් දෙවොල් තිය තියා 

පොල් ගහනවා ගලේ දේවාල  බිම තියා 


මේ ඉන්නෙ බුදු බණම අසන අයමද කියා 

අන්ද මන්දව සිටිති දෙවියෝද මුව  අයා

පොල් ගෙඩිය සතර කඩ විසිර ගොස් ඇති නියා 

දුටුව දෙව් නෙත පිරුණු කඳුළු උතුරා ගියා  

© 2020 Malini Ganewatta

 Thanks to Shifaaz shamoon for this photo on Unsplash.

Wednesday, August 5, 2020

මිහි මව ..ඔව් දැන් ඈ නිදහස්ය.



ඈ දැන් නිදහස්ය. මෙතෙක් කාලයක් උසුලා ගෙන සිටි මහා සිතේ මෙන්ම ගතේ ද බරින් මීට වසර කිහිපයකට පෙර නිදහස් වුවාය. ඈ දැන් නිසොමනේ නිදහසේ අසිරිය විඳින්නීය. ඇගේ ඒ දුක්බර කාලය, ඇත්තෙන්ම ඇගේ මුළු ජීවිත කාලය සමග සැසඳූ විට අසුරු සැණක් යයි සැළකිය හැකි ඒ කාලය, ඇයට නොවිඳිනා දුක් විඳින්නට සිදුවූ ඒ අඳුරු වකවානුව දැන් නැවත එන්නේ නැත. 

අහස ඒකාලෝක කරමින් ගලා හැලෙන හිරු කිරණ හිමින් හිමින් පොළව මත පතිත වන්නට විය. ළදළු මද පවනේ සැලෙන්නට වුයෙන් පෙරදා රැයේ වට වැස්සෙන් තුරු පත් මත රැඳී තිබුණු දිය බින්දු මුතු අහුරු ලෙසින් පහළට රූටා වැටුණේ අපූරු දසුනක් මවමිනි. ඒ දිය මුතු කැට මොහොතකට හිරු එළියේ දිස්නය දෙමින් බිම පතිතව පොළවට උරා ගත්තේය. මුළු ලෝකයම එකම නිල්ලෙන් පිරුණු ගෝලයක් සේ ඈත අහසට දිස් වනවා ඇත. එහෙත් ඒ අතීතයේදී මෙන් අහස් තලය දෙදරවා එයට නැගී ගොස් ලෝකයේ පින්තුරයක් ගන්නට අද කෙනෙක් නැත. ඩ්‍රෝන යවන්නට කෙනෙක් නැත. කොටින්ම පරිණාමයේ අග්‍ර ඵලය යයි තමන්ම උදම් ඇනු නූතන මිනිසා Homo sapiens sapiens නම් සත්වයා, ඇගේ අකීකරු පුත්‍රයා  මේ පෘතුවියේ සිටියේ යයි සලකුණක් වශයෙන් දැනට ඇත්තේ මහා වනයට යටවී ගොස් එහෙත් තවමත් ශේෂව පවතින එදා ඔහු විසින් නිර්මාණය කරන ලද පිළිරූ කීපයක්  පමණි.

ඈ දෑස් පියා ගනිමින් ඇගේ අතීතය මතකයට නගා ගන්නට වෑයම් කළාය. ඒ ගෙවී ගිය කාලයේ සිදුවීම් එකින් එක ඇගේ සිත් කැන්වසය සිසාරා  සිතුවම් පෙළක් සිත්තම් වන්නට පටන් ගත්තේය.

ඈ මුල් වරට උපන්නේ මීට වසර බිලියන හතරකට පෙරය. එදා සිට ඇයට මුහුණ දෙන්නට වූ අභියෝග බොහෝය. ඈ එඩිතරව ධෛර්ය සම්පන්නව ඒ සියල්ලට මුහුණ දුන්නාය. මහා බර උල්කපාතයන්ගේ ප්‍රහාරවලට, අකුනුසර වලට මුහුණ දුන්නාය. එසේ කාලයක් ගතවත්ම ඈ ඇගේ ගැබ තුළ පිළිසිඳ ගත් ඒ ප්‍රථම පණ ගැහෙන ක්ෂුද්‍ර ප්‍රාණියා තම පණ මෙන් රැක ගත්තාය. මුලදී ඇගේ කිරෙන් යැපුණු ක්ෂුද්‍ර ප්‍රාණියා අනතුරුව හිරුගේ රැසින් උකහා ගත් ශක්තියෙන් තමාගේ කුසගින්න නිවා ගැනීමට අවශ්‍ය දේ තනා ගැනීමට සමත් වීම මිහිමව ගේ අමන්දානන්දයට හේතු විය. ඈ තව තවත් ප්රාණියාට අවශ්‍ය සැප පහසුකම් සලසා දුන්නාය. ටිකෙන් ටික අහිතකර හිරු කිරණින් ප්‍රාණියා ආරක්ෂා කිරීමට ඕසෝන් කුඩය ඉසිළුවාය. ප්‍රාණියා ක්‍රමයෙන් ලොකුවීමටත් තව තවත් අරුම පුදුම ප්‍රාණීන් සිය දහස් ගණනින් බිහි කිරීමටත් විය. කාලය සර්පිලයක ගලා ගියේය. යුගයෙන් යුගය යුගයෙන් යුගය....කඳු, මිටියාවත් නිල්ලෙන් වැසි යන්නට විය. පාසි වැනි ක්ෂුද්‍ර පැළෑටි වල සිට දැවැන්ත රතු දේවදාර වෘක්ෂ දක්වා ගස් කොළන් වලින් ඒ නිල් තුරු නිල්ල සැදුම් ලද්දේය. සෑම නිකේතනයක්ම එනම්, පස, ජලය, සාගර, සාගර අගාධ, කඳුවැටි, කාන්තාර පමණක් නොව, ගස් වල පත්‍ර මත, යටිපත්තේ, මුල්වල, ප්‍රාණීන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. විවිධාකාර සතුන් ඇති විය. දිට්ඨා වායේව අද්දිට්ඨා.....දීඝා වායේ මහන්තවා ...මජ්ජිමා රස්ස කානු කථුලා .....ලොකු සත්තු,පොඩි සත්තු, ඇසට පේන සත්තු, ඇසට නොපෙනෙන සත්තු, දිග සත්තු,කොට සත්තු.....අන්තිමේ ඩයිනසෝර්, මැමත් ,තල්මස් වගේ විශාල දේහ දරන සත්තු....

ඒ අතර වාරවල තම දු දරුවන්ට සිදුවූ අකාරුණික අකරතැබ්බ ගණනාවක් ඈ අත්දුටුවාය. ඒ මහා නෂ්ට වීම් කිහිපයක් හමුවේ සිය ඇස් පනා පිට මිලියන  ගණනින් ජීවී ප්‍රාණීන් විනාශ වී යාමයි. අවසානයේ ඈ දුටු මහා නෂ්ට වීම මිලියන ගණන් ඇමොනිටාවන් මුහුදු වලත් මිලියන ගණන් ඩයිනසෝරයන් ගොඩබිමත් විනාශ වී යාමයි. ඒ මීට වසර මිලියන 66කට එපිටය. ඩයිනසෝරයන් ප්‍රමුඛව සිටි ගොඩබිම ඉන් පසුව ක්ෂීර පායීන්ගේ තෝතැන්නක් බවට පත් වන්නට විය. 

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇයට අත් විඳින්නට සිදුවුයේ වෙනස්ම අත් දැකීමකි. ඔව් ඒ අපුර්ව සත්ව ගණය මීට වසර මිලියන තුනකට පමණ පෙර බිහිවුයේය. ඒ Homo ගණයයි. ක්‍රමයෙන් වෙනස් වෙමින් පැමිණි මේ අරුම පුදුම ජීවියා මීට වසර 500.000කට පෙර Homo erectus නමින් ඇතිවූ බව සඳහන් කළේද අවසානයට ජීවත්ව සිටි Homo sapiens sapiens  නම් ඔවුන්ගේම විකාශයේ අවසාන ඵලයයි. 

මොවුහූ  අරුම පුදුම දේ කළහ. පොළොව, එනම් ඇගේ ගත හාරා 'තෙල්' කියා දෙයක් ගොඩගෙන ඒවා දහනය කරමින්, වාහන නම් එහා මෙහා නැග යාහැකි උපකරණ නිපදවමින් තෙල් දවමින්, දුම් පිටකරමින්, නිල්ල පිරුණු වනාන්තර විනාශ කරමින්, නගර හා ගම් කියා දේවල් නිර්මාණය කරමින් අනිකුත් සියලු ජීවීන් යට පත් කරමින්,ඇගේ ගත තුළ තැන්පත්ව තිබූ විවිධ ද්‍රව්‍ය කිසිම අනුකම්පාවකින් තොරවම කණිමින්, ඒවා ගොඩ ගනිමින් අහස උසට ගොඩනැගිලි යයි සඳහන් දේ ගොඩනගමින්  තම සිරුරම ඔවුන්ගේ ලෙස සිතමින් සිදුකළ සියළු රිදවීම් ඈ දරා ගත්තේ ඉතා අපහසුවෙනි. ඇගේ අනිකුත් දරුවන්ටද මේ විශේෂ ප්‍රාණියා නිසා අකල්හි විනාශයට පත් වන්නට වීම ද ඇයට දරා ගැනීම අපහසු විය. 

අවසානයේ ඇගේ සිරුරට දරා ගැනීමට අපහසු තරමට උණුසුම ඉහළ ගියේය. මුල් අවධියේ තිබූ තද උණුසුම ඇය දරා ගත් නමුත් ඒ මීට වසර බිලියන ගණනකට ඉහත දීය. දැන් එය ඔරොත්තු දෙන්නේ නැත. ඇගේ සිරුර සිසිල් කළ ධ්‍රැවීය හිම තට්ටු, ග්ලැසියර දියවී යන්නට විය. හිම වලස්සු අතුරුදන් වූහ.

එහෙත් අර ජීවියා තව දුරටත් අනික් සෑම ජීවීන්ම යට කර ගනිමින්, තම සගයින් පවා විනාශයේ අභිමුවට තල්ලු කරමින් තව දුරටත් 'සැප' නම් දෙයක් කරා හඹා යමින් සිටියේය. ඇසි පිය හෙලන ක්ෂණයක් පාසා විවිධ ජීවී විශේෂ නෂ්ට විය. මේ කිසිවක් විසින් ගණන් ගනු ලැබුවේ නැත. අන්තිමේ දී සිදු වූයේ හීනෙන් වත් නොසිතූ දෙයකි. ඇගේ ඥාතීන් වන අඟහරු ඇතුළු අනිකුත් ග්‍රහලොව වල්  වෙත ගොස් ජීවත් වීමට හීන දුටු Homo sapiens sapiens ට සම්පුර්ණයෙන්ම හතර රියනත් අහිමි වීමේ ඉරණමකට මුහුණ දීමට සිදු වුයේ දෛවයේ සරදමක් ලෙසය. ඔව් ,  ඒ කුඩා නැනෝ මීටර කීපයක් තරම් වන ක්ෂුද්‍ර ප්‍රාණියා විසින් Homo sapiens sapiens නම් දැවැන්තයා යටපත් කර ගන්නා  ලදී. හැකි හැම වෙර දැරුවද දවසින් දවස මළ සිරුරු මිහිදන් විය. අන්තිමේ තැන තැන වැටී ඔවුහු මිය ගියහ. සියල්ල අවසන් විය. රඟ මඬල හිස් විය. 

දැන් මේ සිදුවීම සිදුවී වසර ගණනකි. තුරු නිල්ල ඔවුන්ගේ ගම් නගර යටකරගෙන වැවෙමින් පවතී. ගොඩනැගිලි විනාශවී ඇත. පාරවල් නැත. වග වලස්සු , අලි ඇත්තු නිදහසේ සැරි සරති. ඇගේ සිරුරට නැවත සිසිල දැනෙමින් ඇත. ඔව්, ඒ ක්ෂුද්‍ර ප්‍රාණියා  sars-cov-2 නම් විය. 





Photo by Vijay Sadasivuni on Unsplash

Friday, July 31, 2020

Under the Shade of Green Bo Leaf


Yes! It’s not just a name of another school,

But a sacred temple I say,

Under the shade of the green Bo leaf,

We learned our first letter A.

 

Time is a wind but not so kind,

It hurried without any delay,

Finally we fell on this deserted land,

As the wind blew us far away.

 

It was a long time, twenty years ago,

Some of our sisters had had a dream,

The dream came true with this excellent place,

Our first meeting happened to take place.

 

The name; Colombo Old Girls’ Association,

But we are not ‘old’ as the word means,

The eldest name here eighty five years old,

Is only a figure that you just can read.

 

We debated sometimes on different topics

We fought for things on some other days,

But finally ended up with one sole view

The colour of friendship never fades away.

 


Saturday, July 11, 2020

අහස නිවසයි ..ලොකු පුංචි හැමෝටම




පවස නිවන සිහිල් දිය පොද, 
බිඳෙන් බිඳ, බිඳ එකතුකර කර,  
අහස කොතෙකුත් ගෙන ආවත් වැස්ස,
පවස නිවෙන තෙක් පමණක්මය,  
අහසට පිදෙන්නේ ආදරය. 

අහස ගෙනෙන සැඩ හිරු කිරණ 
බිඳෙන් බිඳ, බිඳ  එකතුකර කර,   
සුරුවමින් සැදෙයි වී ඇටයෙන් ඇටය,  
කුස පිරෙන තෙක් පමණක්මය, 
අහසට පිදෙන්නේ ආදරය. 

අහස ගෙනෙන සීතල සුළං පොද 
බිඳෙන් බිඳ, බිඳ එකතුකර කර,
ගතසතපවන මද පවන් රැල්ල 
දාහය නිවෙන තෙක් පමණක්මය, 
අහසට පිදෙන්නේ ආදරය. 

අහස දොස් ඇසුවත් සැම දිනම 
රහස කීම ඒත් සතට සෙත සාදන 
දවස ගෙවුණත් ඔහේ එක ලෙසම
නිවස එයමය ලොකු පුංචි හැමෝටම  

© 2020 Malini Ganewatta

Thanks to Simon Hattinga Verschure for the photo on Unsplash.



Thursday, July 2, 2020

බස කියන්නෙම විසක් ....

















බස කියන්නෙම විසක් 
වෙලාවකට විස කැවූ ඊතල හිසක් 
වැඩි දුරක් නොසිතාම 
සිදුරු කර වනසාවී
මොළකැටි සමනල හිසක් 

හීනෙකින් වත් හිතේ නැති  
'මං ඔයාට පණටත් වැඩිය 
ආදරෙයි' වගේ දෙයක් ...
කියන්නට යොදන්නෙත් බසක්..

රැවටෙන්නම සැරසුණු සිතක්
සොයන්නෙම බසෙන් සැනසුමක් 
බස මවයි  සුන්දර ලොවක් 
ඇහැරී බලද්දී එය හීනයක්.... 

බස අයිසිං තැවරුමක් 
රස යයි පෙන්වන්නට 
ලස්සනට සරසපු 
මෙලෝ රහක් නැති 
පිටි ගොඩක්.......

බස කරකවයි ලොවක් 
ලොව නොදනියි කිසි බසක් 
වචන නැති ඇඟ බසක් 
ගෙනෙයි කුසගින්නට බතක්...

බස විසිර යයි ඔන්න තව වරක් 
දේශ ප්‍රේමයට එහි  ලොකු බරක් 
සංගීතය ගෙනෙයි  බසට තල්ලුවක් 
හිනැහෙන මුහුණු එයි පේළියක්......  

බස දෙයි පොරොන්දුම කප්පරක් 
දුහුනන්  කණට මී පැණි බින්දුවක් 
රැවටේවී රැවටෙන්නො කප්පරක්
ඒකයි කියන්නෙම බස විසක්.......

© 2020 Malini Ganewatta 

Thanks for Stefany Andrade for the photo on Unsplash.



Friday, June 26, 2020

කොහෙ කියල යන්නද ඉතින්?





















ලෝකය කැරකෙන්නෙ 
එකම වේගෙන් නම්,
ඇයි දවස් ගෙවෙන්නේ 
මෙච්චර හෙමින් 

තව අවුරුද්දක් දෙකක් 
මෙහෙම අදිමු කියලා 
රාවය ඇහෙනවා 
හැම දෙසින් 

කී දෙනෙක් ද 
සීතල පස් කැට අතර 
හෙට ඒ ඔබ ද 
මම ද කාටද කියන්න 
පුළුවන් ?

දෙවියොත් ඇඳිරි 
නීතියට ගරු කරන් 
හැංගිලම හිටියයි 
කියනවා ඉතින් 

ගෙවල් වල ඉඳන් 
පඩුරු ගැට ගහපු වුන් 
දැන් දැන් යනවලු 
පුද පඬුරු අරන් 

කරන්න දෙයක් 
උන්නාන්සෙලටත් 
නැති බව තේරෙන්න
ඕනෙ හොඳටම දැන් 

සාස්තර කියන වුන් 
හැංගිච්ච තැන් වල ඉඳන් 
එකා දෙන්නා ඇදෙනවා 
පෙනේ  එළියට දැන් 

බඩ ගිනි ඇතිනෙ 
උන්දැලටත් 
ඔන්නොහෙ සාස්තරයක් 
වත් අහල කීයක් වත් 
අතට දෙමු ඉතින් ?

මේ තනිකමට 
ලියවෙන කවි 
ගණන් ගන්නට ඕන නෑ 
ලොකුවට නම් 

අපි කවි ලියූවත් 
කවුරුවත් ඒව 
දකින්නෙ වත් 
නැත්නම් 

ගමනක් යන්න 
හීනෙන් වගේ හිතුවත් 
ඒකටත් විදියක් 
නැත්නම් 

කොහෙ කියල 
යන්නද ඉතින් 
ගුලිවෙලා තව ටිකක් 
නිදාගන්නව 
ඔන්නොහේ මං  

© 2020 Malini Ganewatta

Picture from Unsplash





Tuesday, June 23, 2020

බිංගෝ













දුවගෙන දුවගෙන එන 
දෑත තබා ඇඟට පනිමින 
පුදුම දඟයක් නේ නුඹට තිබුණ
අද නුඹ නැත එතැන 
දුකකිය හදවත දවන 

රට පුවක් ගෙඩියක් තරමට 
අපේ සෙවනට ආව දින සිට 
ගුලිවී තුරුල් වී  වී තැන තැන
නුඹත් සිටියා අපේ අසළින 

ගඩොලින් ගඩොල බැඳ ගෙන 
ටිකෙන් ටික අප ගෙපැල සාදන 
දුක සැප ද උසුලමින 
නුඹත් සිටියා අපේ අසළින 

අවුරුදු පහළොවක් 
ටිකක් නම් නොව 
ජීවිතෙන් දිගු කාලයක් 
නුඹ අප සමග විත් 
සිටිය කාලය ඒද ආයෙත්? 

දුක් වන්නේ  කුමට ?
ගෙවුයෙන් නුඹ පරම ආයුෂ 
කීවත් කටට ආවට 
දුකට නැත සීමා මායිම් වැට 
අද නුඹ නැත එතැන 
නැග ඒ කඳුළු දෙනුවන 

අපි නුඹට දුන් සෙනෙහසට 
නුඹ අපට දුන් රැකවරණයට 
නැවතුම් තිත තබන්නට 
කාලය නපුරු වුයේ කීම  ?

Monday, June 8, 2020

පරවුණු මල් කැකුළ




පුංචි මල් කැකුළක 
හදවත නතර වනු දැක 
මිරිකුණු හදවතක 
නෙතු අග රැඳුණු කදුළක 

යන්නට දොර පිළට 
තැනක් තිබුණෙම නැද්ද 
නුඹ හට 
නයි ගහන වදුලක 
ලගින්නට වුණෙ 
කුමන පවකට 

දුක සදා දුකමය 
එනමුත් මේක වෙනමය 
ලොවේ සැප ගහනය 
නුඹට සිදුවුනෙ 
කුමන කරුමය 

ළමුන් හඬන හඬ රැව් දුන්නද                  දසතේ 
නයින් පැමිණ විස දළ තැබුවත්              සුරතේ 
දුකින් දුකට ගෙනයන උරුමය             පැවතේ
මෙවන් බිමක් කුමකට පවතිද               දියතේ

නයින් නපුරු මුත් කැලයේ                සිටින්නේ 
අලින් වුනත් නිකමට   නෑ               එබෙන්නේ
රුපුන් සැවොම අප අතරෙයි              සිටින්නේ 
ඉතින් කවදා ද අප හිරු                      දකින්නේ

© 2020 Malini Ganewatta    

Photo by Trym Nilsen on Unsplash
Thanks to  Trym Nilsen.....

Sunday, June 7, 2020

Life is always arrivals and departures




I still remember the good old days,
Your arrival brought us happiness,
We were together for many a years
But now we are physically far apart 

If there are no departures
Nor actually are arrivals
We had to say good bye to you 
When one by one you departed.

Yes, everybody has to leave,
Everybody has to leave their homes
Growing up means leaving homes
So you had to leave your beloved home

Actually no such good byes between us,
Because our love grows up and lasts forever,
Where ever you all live on this planet,
You live in my  heart forever my dear!

©2020MaliniGanewatta

Photo by Jeffrey Eisen on Unsplash

Sunday, May 31, 2020

කළු සහ සුදු



සුදු තමයි ලස්සන කියල 
හැමෝම හෙව්වේ සුදු 
හැමෝටම ඕන වුණේ 
සුදුවෙන්න 
කළු එච්චරම නරකද 
කළු කැතයි කියලයි 
හැමෝම වගේ කිව්වේ....
කළු අසුබයිලු 
කළු මරණයේ පාටලු ..
කළු අවාසනාවේ පාටලු...   

කළු නිසා මේ තරම් 
කඳුළු ගැලුවේ 
ඇයිද නොදනිම්
කළු නැතුව සුදු නම් 
තියෙන්නට පුළුවන්ද 
සිතනෙම් ......
කළු වළා  පාවෙලා 
ගෙනාවත් වැසි මනරම්
කළු වළා පාවෙලා 
එළිය පායන තුරු සිටිමි මම් 
Photo by Niklas Schoenberger on Unsplash 

Saturday, May 30, 2020

අහිමි පෙම





ඒ ඇයමය. ඈ මේ ආකාරයෙන් නැවත දකින්නට ලැබෙතියි බලාපොරොත්තුවක් මට නොවීය. මේ මොහොතේ ඈ මා හඳුනා ගත්තේ නැත හෝ ඈ සිටි තැනට මා පැහැදිළිව නොපෙනුණා විය හැකිය.මා ඇත්තෙන්ම සිටියේ මට ඈ පෙනුනත්, ඇයට මා නොපෙනෙන ආකාරයට බව පසුව මම පසක් කර ගතිමි. 

 මා මේ සිටින්නේ බදුල්ලට යන 'උඩරට මැණිකේ' ශීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය අංගනයට පැමිණෙන තෙක් කොළඹ කොටුව දුම්රිය අංගනයේ පළවැනි  වේදිකාවේ බංකුවක් මත අසුන්ගෙනය. පළමු පන්තියේ ටිකට් පතක් මගේ අතේ විය. ගමන් බෑගය පසෙක විය. සතියක් පමණ බදුල්ලේ මා මිත්‍ර සරත් සමග වටපිටාවේ සුන්දරත්වය විඳිමින් ගත කිරීමට යාම මගේ අරමුණ විය. ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාගෙන දුම්රියද කල් ඇතිව වෙන් කරගෙන අද උදේම මෙහි ලඟා වීමි. මෝටර් රථයෙන් නොගොස් දුම්රියේ යාමට තීරණය කළේ කවදත් උඩරට දුම්රිය ගමනට මා ඇළුම් කළ හෙයිනි. එමෙන්ම දුම්රියේ ගමන තනිවම මෝටර් රථයක් ධාවනය කිරීමට වඩා හිතට මෙන්ම ගතට ද සැහැල්ලුවකි. මෙකල  ප්‍රධාන මාර්ගයක මෝටර් රථ ධාවනය අතිශය කටුක අත්දැකීමකි. 

'ගිහින් කතා කරනවද?' පපුව මැද විදුලි කොටන ශබ්දය පිටතටත් ඇසේදෝයි  බියක් සැනෙකින් ඇතිවිය.

'ඕන නැහැ එයා ජීවිත ගමනෙ එයාගෙ පාරෙ ගියාදෙන්. මං දැන් ඒකට ඇතුල් වෙන්න ඕන නැහැ' මගේ ඒ දැඩි අවසන් තීරණය සමග හදවත ද කෙමෙන්  සන්සුන් වනු දැනුණි.  සන්සුන් වූ මම ඈ දෙස තව දුරටත් බලා සිටියෙමි. ඇගේ සුදෝ සුදු වත එදා මෙන්මය. මා ආසා කළ ආදරය කළ සුකොමළ සිහින් සිරුර ද වෙනස් වී නැත. ආ අසළ දරුවන් දෙදෙනෙකි. ඇගේ සිරුරේ පැහැයෙන්ම යුතු වැඩිමල් පිරිමි දරුවා තරුණ වියට එළඹීමට ආසන්න වයසකය. අප දුරස්වී වසර විස්සකට ආසන්න බව මට සිහිපත් වන්නේ දැන්ය. අද ඇය දුටු මොහොතේ පටන් මෙතෙක්, එය අද ඊයේ මෙන් හැඟීමක් සිත තුළ විය. අනික් දැරිය පිරිමි දරුවාගේ නැගෙණිය විය යුතු බව පැහැදිළි  විය. දැරියගේ පොකුටු හිසකෙහෙ හා පෙනුම ඒ  අසල සිටගෙන සිටි ඇගේ පියාගෙන් ලැබුණු දායාද බව  පෙනුණි. දැරිය සිය සොහොයුරාට වඩා වසර කිහිපයක් ලාබාල බව පෙනුණි.

මේ වගේ දරුවන් අපටත් ඇතිවී අපි අපේම පුංචි ගෙයක ජීවත් වෙන හැටි ඈ මිහිරි තෙපුළෙන් පැවසූ ඒ අතීතය ඇත්තටම මගේ ජීවිතයේ ඈත දිනයක  විඳි දෙයක්  ද නැතිනම් හිතලුවක් දැයි තෝරා බේරා ගන්නට බැරිව මම විපිළිසර වීමි. මේ සියල්ල දෙස බලා සිටින කල එකල අප ප්‍රේමයෙන් වෙලී සිටි ඒ සුන්දර අතීතය දැන් දැන් මගේ මතකයට නැගෙන්නේ ආත්ම ගණනාවකට එපිටින් සිදුවූ සිදුවීම් පෙළක් ලෙසය.

මට ඇය මුලින්ම හමුවූ දිනය සිතුවම් පටෙහි මුලින්ම මනසේ දිග හැරෙයි. සවස අමතර පන්තියට යාමට මම බස් රථයෙන් යමින් සිටියෙමි. අතරමගදී කහ පාටට හුරු ගවුමකින් සැරසුණු හිම කුමරියගේ පැහැයෙන් යුත් ගැහැණු ළමයෙකු බසයට නැගුණා මතකය. ඉන් පසු මට එය අමතකව ගියේය.

මා පන්තියේ ඉඳගෙන පාඩමට සිත  යොමා සිටි මොහොතේ ඒ ගැහැණු ළමයා  අලුත් ශිෂ්‍යාවක ලෙස අපේ පන්තියට පැමිණීමත් සමග මගේ සිත මටත් තෝරා බේරා ගැනීමට නොහැකි අමුතු හැඟීමකින් වෙලී ගියේය. ඇය සුරඟනක් බඳු යයි මට සිතුනි. එතරම් සුන්දර මුහුණක් හෝ සිහින් අඟපසඟ ඇති රුවක් මා මෙතෙක් දැක නැතැයි හැඟී ගියේය.

ඇය ඉඳගෙන සිටියේ මා සිටි පෙළට ඉදිරිපස පෙළකය. ඈ සටහන් ලියන අතරේ මම ඇගේ බිමට නැඹුරුවුණු සුන්දර මුහුණ දෙසත් මේසය මත තබාගෙන සිටින ඇගේ වමතේ දිගු සිහින් ඇත් දත් පැහැති ඇඟිලි දෙසත් බොහෝ වේලා බලා සිටියෙමි.

මගේ සිතේ ඈ පිළිබඳව මේ ඇතිවී තිබෙන නොසන්සුන් එහෙත් වරෙක රසබර, වරෙක හදවත දැවී යන අමුතු හැඟීම් ආදරය බව වටහා ගත්තේ සෙමින් සෙමින්ය. මගේ ඇතැම් මිතුරන්ට පෙම්වතියන් සිටි නමුත් ආදරය ගැන එතරම් කතාබහක් අප අතර ඇතිවී තිබුණේ නැත. මා කියවා තිබූ සීමීත නවකතා කිහිපයක වූ පෙම් සබදතා,  මා හුදකලා වූ සැමවිටකම ඈ ඒ කතාවල චරිත අතර පණ පොවමින්  මගේ මනසේ හොල්මන් කරන්නට විය. තවත් සති කිහිපයක් නොසන්සුන් සිතින් ගතවී ගිය ඉක්බිති දිනක මගේ හොඳම මිතුරා මගින් මගේ සිතැඟි ඇයට ඉදිරිපත් කළෙමි. අපේ පෙම් පුවත ඇරඹුණි.

දිනක් අප දෙදෙනා මුහුදු වෙරළේ තනිවූ මොහොතක ඇගේ අතැඟිලි මගේ දෝතින් ගනිමින් ' ඔයාගේ අත් හරිම ලස්සනයි ' කීමි. මනරම් සිනාවෙන් මුව සරසා ගත් ඈ 'ඕක කියන්නේ ඔයා විතරක් නෙමෙයි ' කියා කීවාය. ඒ පිළිතුරෙන් මා අන්දමන්දව යනු දුටු ඈ දඟකාර ලෙසින් ' හොරා ...මට තව කොල්ලෙක් එහෙම කිව්වා කියල හිතුව නේද?' කියා ඇසුවාය.
'නෑ ..නෑ පවන්. බය වෙන්න එපා. අපේ ඉස්කෝලේ වෙන පන්තිවල ළමයි එනවා මාව බලල යන්න. එතකොට තමයි ඕව කියන්නේ.' කියමින් මගේ කුතුහලය ඉවත් කරමින් ඈ ඇගේ පිළිතුර දීර්ඝ කළාය. සැබවින්ම ඇගේ අත් වාත්තු කළ පිළිමයක බඳු යයි මට සිතුනි.

'රේඛා' අවන්හලේ අපි සැහැල්ලුවෙන්, හිම කිරම තොල ගාමින්, දොඩමළු වෙමින්, අනාගතයේ කෙදිනක හෝ මටම හිමි කර ගැනීමට ආදරයෙන් බලාපොරොත්තුව සිටි ඇගේ අතැඟිලි මගේ අතැඟිලි අතර සිර කරගෙන සිටි ඒ චමත්කාර සැන්දෑව  ඊ ලඟට මගේ මනසේ සිතුවම් අතරට පිවිසෙයි. ක්ෂණිකව ඇතිවූ උමතු හැඟීමකින්, බිමට නැඹුරු වී තිබු ඇගේ මුහුණ මා වෙත දෝතින් ගෙන  රෝස පෙතිවන් කම්මුලක් මත ජීවිතයේ ප්‍රථම වතාවටත් අවසන් වතාවටත් උණුසුම් හාදුවක් තැබුවේ ඒ මොහොතේ හදවත පත්ලේ ගැඹුරුම තැන කළඹවා ගෙන නැග ආ  මගේ ආදරය ප්‍රකාශ කිරීමට වචන සොයාගත නොහැකි වූ බැවිනි. . " ඔයාට පිස්සුද පවන් ...කවුරුවත් දැක්කොත් " රතුවූ මුහුණින් යුක්තව ඈ විරෝධය පෑවේ එයට අකැමැත්තෙන්ම නොවේ. ඒ සොඳුරු මොහොත සිහිනයක් නොවන්නේදැයි මට දැන් හැඟෙයි. ඒ සමගම ඉමිහිරි රෝස පෙති සුවඳක් මතකයේ පත්ලෙන් සිතට දැනී නොදැනී, එයින් ද නොනැවතී නාස් පුඩු තුළින් ඇතුල්වන සෙයක් ද දැනුණෙන් මම වට පිට බැලීමි. එහෙත් දුම් හා තෙල් වාෂ්ප මිස අවට වාතයේ රෝස මල් සුවඳක් නොවන බව මට ඒ ක්ෂණයකින් පසක් විය. සියල්ල මායාවේ කඩතුරාවෙන් වැසි ගිය සෙයකි.

ජංගම දුරකථන තබා ස්ථාවර දුරකථනයක් පවා ඉතා විරල ඒ අතීතයේ, අපි පෙම් පත් මගින් අදහස් හුවමාරු කර ගතිමු. ඒ ලිපි පොතක් අස්සට දමා මිතුරෙකු මගින් ඇයට ලැබීමට සැලැස්වූ හැටි ..ඇගේ ලිපිත් ඉඳ හිට ඈ මැසූ ලේන්සු පොඩිතිත් ඒ විදියටම අතින් අත, මවෙත ලැබුණු සැටිත් වචනයෙන් විස්තර කළ නොහැකි චමත්කාරයක් ජීවිතයට එකතු කළේය. මා ඒ ලිපි හා තෑගී ඉතා සුරැකිව තබා ගත්තේ අම්මාට හොරෙනි. නමුත් අප දෙදෙනා පිලිබඳ යම් ආරංචියක් දෙමාපියන්ගේ කණ  වැකීමට වැඩි කලක් ගත වූයේ නැත. අම්මාත් තාත්තාත් මුල සිටම අපේ ප්‍රේමයට විරුද්ධ වුවෝය.

ඇගේ නිවසට අපේ ප්‍රේමය ගැන වැටහීමක් නොවිය. ඈ එය ඇගේ එකම වැඩිහිටියාවූ මවට පවසා නොතිබූ අතර වෙනත් ක්‍රමයකින් එය ආරංචි වුයේ ද නැත. මා ඇගේ නිවසට එක වරක් ගිය නමුත් එය  සාමාන්‍ය මිතුරු හමුවකින් ඔබ්බට, සැකයට බඳුන් වන අවස්ථාවක් නොවීය.

' පවුල් දෙකක බරට  මට කරගහන්න බෑ " අම්මා කීවාය.

අම්මා ඇගේ පවුල පිලිබඳ කොහෙන් හෝ කන වැකුණු දෙයකින් තේරුම් ගත් ඒ දෙය එනම් ඇගේ පවුලේ සැබෑ තත්වය තේරුම් ගැනීමට තරම් මේරූ බවක් එදා මට නොවීය. එය මට වැටහෙන්නට වූයේ ඇය මට අහිමි වීත් බොහෝ කලකට පසුවය. ඈ ඉගනීමේ දක්ෂ වූවාය. එකවරම වෛද්‍ය   විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට ඇයට හැකි විය. මම අසමත් වීමි. ඈ වෛද්‍ය විද්‍යාලයට  ගියාය. මම ඉබාගාතේ ඇවිද්දෙමි. ඒ සුළු කාලය තුළ ඈ මට අහිමි විය. අපේ සොඳුරු ප්‍රේමයට තිත තැබූ ඈ මා හැර ගියාය. ඈ මට අහිමි වී ගිය ඒ අතීතයේ මුල් දිනවල නැවතත් ඈ දැක ගැනීමේ ආශාවෙන් මඬනා ලද සිතක් මා තුළ පහළ වූ නමුත්, ළතෙත් බවෙන් තොර කාලයේ වැලි තලාවෙන්  වැසි ගිය අතීතය ක්‍රමයෙන් මා ඒ සිතුවිළි වලින් ඈත් කරනු ලැබීය.

පසු කලෙක ඈ වෛද්‍යවරියක වන්නට ඇත. ඈ පත්වීම ලැබුවේ කුමන රෝහලකට ද යන්න මට දැන ගන්නට ලැබුණේ නැත. නැත්නම් මට එවැන්නක් දැනගන්නට වුවමනා නොවුයේ  තවදුරටත් ඈ ජීවත් වූයේ මගේ සිහින ලෝකයේ මිස සැබෑ ලෝකයේ නොවන බැවිනි.

ඔබට සිතෙනු ඇත්තේ සරසවියේදී ඈ අළුත් පෙම් පුවතක් ඇරඹු නිසා මා හැර ගියා වන්නට ඇතැයි යන්න නම් ඔබ වැරදිය. සත්‍ය වෙනත් දෙයකි. ඇගේ පවුලට සම්බන්ධ ඥාතියෙකු විසින් කරන ලද විවාහ යෝජනාවකින් ඈ විවාහ දිවියට ඇතුළත් වූවාය. අදාළ පුද්ගලයා ඇගේ පවුලේ ඉදිරි කටයුතු වලට උරදීමට සමත් කෙනෙකු වීම නිසා මවගේ බලපෑම මත එයට එකඟ වී ඇති බව ඇගේ මිතුරියක මගින් පසුව මා වෙත දන්වා එවා තිබුණි. මා ගත කළ සැහැල්ලු සුකුමාල ජීවිතය ඇයට පෑහෙන්නක් නොවන්නට ඇත.

' ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නෑ පවන්. මට මගේ පවුලේ ලොකු වගකීමක් තියෙනවා. මං මොනදේ කළත් , මගේ ආසාවල් මොනවා වුණත් මුල් තැන දෙන්නේ මගේ වගකීම් වලට මිසක් හැඟීම් වලට නෙවෙයි. මං ඔයාගෙ ඔය ලස්සන ඇස් වලට ආසා කළා තමයි. ඔය හිනාවට ආදරය කළා තමයි. ඒත් ඒ මේ සුන්දර යොවුන් වයසත් එක්ක අපේ හිත්වල පොරකන සිතුවිලි වලට යටවෙලා කියල අමතක කරන්න එපා. ඒත් ජීවිතය කියන රළු මාවතේ ඒ තරම් සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ නැහැ පවන්. ජීවිතේ මල් යහනක් නෙවෙයි.'

ඒ ඈ මට එවූ ලිපියක කොටසකි. ඈ ඇගේ ඉරණම ඉවෙන් මෙන් දැන ගෙන සිටියා වන්නට ඇත.
මේ ලිපි වල තිබු ඇතැම් දේ ඇසූ මගේ හොඳම මිතුරා පැවසුවේ ' මචං ඔයාගේ නිම්මි හොඳයි බණ කියන්න. හැබැයි උඹ බණ අහ අහ ඉන්න ලෑස්ති නැති බව මං දන්නවා.'

එහෙත් ඇගේ දුෂ්කර දිවි පෙවෙත විසින් එවැනි ආස්ථානයකට ඇය තල්ලු කර තිබු බව තේරුම් ගැනීමට මම අපොහොසත් වීමි. මට කුඩා කළ පටන් ලැබී තිබු මුලික සැප සම්පතින් පිරුණු ජීවිතය, අපේ වැනි දුප්පත් රටක ජනතාවගේ පොදු යථාර්තය අවබෝධ කරලීම මා වෙතින් දුරස් කළේය. එහෙත් මම මට ලැබී තිබු ඒ වරප්‍රසාද මගේවත්, දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයින්ගේවත් යහපත වෙනුවෙන් යොදා ගැනීමට අසමත් වීමි. මට කරන්නට තිබුනේ ඇය ආදර්ශයට ගනිමින් මගේ ද ඉගෙනුම සාර්ථක කර ගෙන අප දෙදෙනාම සාර්ථකත්වය කරා පිය නගාගෙන ඇගේ බරට ද සැහැල්ලුවක් ගෙන දී ජීවිතය ජය ගැනීමටය. එහෙත් මම ඉබාගාතේ ඇවිද්දෙමි. ජීවිතය වරද්දා ගත්තෙමි. දෙමාපියන්ට ද බරක් වීමි. පවුලට නරක ආදර්ශයක් වීමි. 

ගලා ගිය කාලය තුළ අම්මා ගේ දැඩි උත්සාහය මත අවසානයේ දී එක්තරා මාවතකට පිවිසීමට මට හැකි විය. මම විවාහ ජීවිතයකට ද ඇතුළත් වූ බව කිව යුතුය. ඒ විවාහ ජීවිතය ගඟක පහළට ගලා යන ජල කඳත් සමග  ඔහේ ඇදී පාවී ගිය පරඬලා පතක් මෙන් විනැයි  අද මට සිතේ.  අප දෙදෙනාට දරුවන් ඇති වූයේ නැත. මට සිහි කරන්නට ඇත්තේ එදා ඒ අතීතයේ නිම්මිත් මාත් කතා කළ ඒ සිහින ගෙවල් හා සිහින දරුවන් ගැන පමණකි. ඇත්තෙන්ම සමහර වෙලාවට මා කාන්සියේ ගතකරන විට මගේ චිත්ත සන්තානයේ  ඒ අපේ සැබෑ නොවූ පුංචි සොඳුරු කැදැල්ලත්, එහි කුදු මහත් කටයුතුවල සතුටු සිතින් යෙදී සිටින ඇගේ පියකරු මුහුණත්, අපේ මිදුලේ දුව පැන නටන පුංචි පැටවුනුත්, ඇඳී ගියේ නැතැයි කීවොත් එය මුසාවකි. නිම්මි නම් සැබෑ දරුවන් සමග බව අද මම දැක්කෙමි. පසු කලෙක මගේ බිරිඳ පිළිකා රෝගයට ගොදුරුවී මෙලොව හැර ගිය හෙයින් මම මෙලොව තනි වීමි. මව් පියන් කලින්ම මා හා සොයුරන් හැර ගොස්ය.

'උඩ රට මැණිකෙට පට කුඩ දෙක දෙක' තාලයට පැමිණි 'උඩරට මැණිකේ' දුම්රිය පළමු වේදිකාවේ නතර කරනවාත් සමග කලබල වූ මගීන් තම තමන්ගේ ගමන් මළු ද රැගෙන දුම්රියට නැග ගැනීමට උනන්දුවනු පෙනුනි. ඔවුන් ද තමන් ගේ ගමන් මළු අතැතිව ඒ දෙසට යනු මම බලා සිටියෙමි. දරුවන් දෙදෙනාගේ ඇස් වල තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයයි. දුර ගමනක් නිදහසේ යන්න පොඩි දරුවන් කොතරම් ආසා කරනවා ද යන්න මගේ කුඩා කාලයේ අත්දැකීම් සමග සිත තුළ චංචල හැඟීම් ඇති කළේය.

ඒ පුංචි පවුල නැරඹුම් මැදිරියට ඇතුල් වනු මම හිස් බැල්මෙන් බලා සිටියෙමි. මගේ අතේ තිබු ප්‍රවේශ පත්‍රය අතැඟිලි අතර හිර විය. අතැඟිලි දහදියෙන් තෙත්ව තිබුණි."සරත් ට කෝල් එකක් දෙන්න ඕන අද මේ කෝච්චියේ එන්නේ නෑ කියල" එකවර මගේ සිතුවිලි අලුත් විය. මම ආපසු හැරී දුම්රිය වේදිකාවේ පිටවීමේ පුවරුව පෙනෙන ඉසව්ව බලා වේගයෙන් ඇවිදගෙන ගියෙමි. එහෙත් නැවත වහා  හැරී දුම්රිය දෙස බලා සිටීමේ ආශාවක් සිතට නැගුණි. දුම්රිය තව මොහොතකින් පිටත් වන බව ප්‍රකාශ වුණු ඒ ගැඹුරු කට හඬ මගේ දෙකන් තුළ දෝංකාර දෙමින් ඇසී නෑසී ගියේය.  මොහොතකින් දුම්රිය ඇයත් ඇගේ ලෝකයත් මගේ ලෝකයෙන් සදහටම වෙන් කරමින් හූ හඬ නගමින් ඉදිරියට ඇදී ගොස් ඈත වංගුවෙන් නොපෙනී යන තුරුම මම එදෙස බලා සිටියෙමි.  

Photo by adrianna geo on Unsplash





Friday, May 15, 2020

අනේ ලෝකය සෝක සයුරක් !



තවත් නව                                  වසරක් 
එළඹුණා ගෙන                          මිහිරක්  
ටිකකින්                               කැළඹුමක්
සමග ආවේ    අමුතු                වෙනසක්                      

සිතුම් දස                                   දහසක් 
පැතුම් ඊටත් වැඩිය               ගොන්නක්    
තව හීන                                   කන්දක්                                    
අසුරු සැණකින් මැකුණු           හැටියක් 

හුස්ම ගත්                                මිනිසුන් 
ඇස් පුරා හිනැහුණු                        උන් 
ලොව සැම තැනම                        උන් 
දැන් කොහෙද කෝ කොහි ගියෙද උන් 

නෙමේ පොඩි                        ගණනක් 
තුන අගට  බිංදුම                        පහක් 
ඇස අගට                                කඳුලක් 
අනේ ලෝකය සෝක              සයුරක් 

හීන පොදී බැඳ                          ගෙන 
කොහි යන්නෙ ගැල ඇද            ගෙන 
දිනෙක මෙය                      නැවතෙන 
හීන සේරම හුළගෙ               විසිරෙන

පරමාණු                                   අහුරක් 
මිසක් නැත වෙන                     කිසිවක් 
ඒ බව කර                                  පසක් 
යන්න යමු ඔහෙ තව ටික             දුරක්  

© 2020Malini Ganewatta

Photo by Rod Long on Unsplash. Thanks to him. 

Tuesday, May 5, 2020

කොවුල් බක් මහ මතක



මට දැනෙන විදියට බක් මහේ නම්,
කොහාට සිවු වරක් වැරදුණා දැන්,
මේ මගේ  ජීවිත ගමන ඇතුළෙම,
ඔව්,පොඩියි පළවෙනි සැරේ නම් මං!

ඒ සැරේ තිබුණෙ රතුම රතු එරබදු මල්,
ගඟේ පාවී ගිය මූසලම මූසල කාලයක්,
කොහා ඇඩුවලු මුළු දවස පුරාම ඉඳන්,
වැළපුම් පමණි ඇසුණේ සැම දෙසින්,

කොහාගේ උණුම උණු, උණු කඳුළු;
ගිං ගඟේ පාවී පාවී ගිං තොටට ගියාලූ,
එදසුන අපේ ඇස ගැටුණෙ  නැතුවාට,
කටුවක් හද පත්ලටම.ඇමිණී තිබුණාලු .

ඊළඟ සැරේ කොහොම ගී ගයන්නද ඉතින්,
ගිලිහුණු මවු සෙනෙහෙ පපුවට තද කරන්,
අනේ ! අඬ අඬා ගියා ඌ ඒකත් අරන්,
දෑසින් මැකී ඈතට ඈතට ගිං ගං තොටින්.

තුන්වෙනි සැරේ හිටියා ඌ ගී සුසර කරමින්,
ඒත් මහ පිපිරුමක් වුණා හීන කන්දක් යටින්,
තැන තැන මිනී බෙර වැයෙන්නට  වුයෙන්,
ඌ ගොළු වුණා ගී උගුරෙ හිර කරන්.

ලෝකයම කඳුළු ගඟක කිමිදුනෙන්;
කුමන ගී ගැයීමක් ද මේවර ඉතින්,
සිහින් ඉකියකි ඇසෙන  නෑසෙන දුරින්,
පුංචි රතු කොවුල් ඇස අඩවන්ය දැන්.

©Malini Ganewatta

Photo by Challiyan - Own work, CC BY-SA 4.0, https://commons.wikimedia.org/w/index.php?curid=3745626