Friday, March 29, 2019

කිසිවෙකු නොගැයූ මා ලියූ ඒ ගීතය .....


කිසිවෙකු නොගැයූ මා ලියූ ඒ ගීතය .....


කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මටම හමු වුණා දවසක්
පැරණි පොත් පිටු අතර රැදී සිට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
වියැකෙන්නටත් ලං වී තිබුණි
කඩදාසියේ නැමී අතර

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මම මටම මිමිණුවා සෙමෙන්
මගේම තනුවකට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මිමිණු ඒ සිහින් රාවයෙන්ම
පිවිසුණා ඈත අහසට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
පුදුමයි දැන් ගයනවා හැමදාම
කුරුල්ලෙක් අඹ ගස මුදුනේ සිට
 

Wednesday, March 20, 2019

අධ්‍යාපන මාධ්‍ය/Language of Instruction

අධ්‍යාපන මාධ්‍ය/ Language of Instruction

මේ දිනවල විවාදයට බඳුන්වන ප්‍රධාන කාරණාවක් වන්නේ දරුවන්ට ඉගැන්වීමට යොදා ගත යුතු භාෂා මාධ්‍ය කුමක්ද යන්න නිසා ඒ ගැන විමසීමක් කිරීම සුදුසු යයි හිතුවා. මේ ගැන සඳහන් වන අතිමහත් පර්යේෂණ ඇතුළු සාහිත්‍යයක් යුනෙස්කෝ ඇතුළු ලෝකයේ විවිධ ආයතන හරහා ඔබට ලබා ගන්න පුළුවන්.

පහත සඳහන් වන්නේ එසේ ලබා ගත් කරුණු කිහිපයක්.

'Research has shown that children’s first language is the optimal language for literacy and learning throughout primary school (UNESCO, 2008a).'

'ගුණාත්මක මුලික අධ්‍යාපනයක් ලබාදීම  කෙරෙහි බලපාන සාධක රැසක් ඇති නමුත් පන්තිකාමරයේදී සන්නිවේදනය හා අවබෝධය උදෙසා යතුර වන්නේ භාෂාවයි. දියුණුවෙමින් පවතින රටවල පුද්ගලයන් හා සමාජය බහුභාෂීය වන නමුත් අධ්‍යාපනයේදී වෙනත් විදේශීය භාෂාවක් මුලික කරගනු ලැබේ. සිසුන් කතා නොකරන භාෂාවක් අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදා ගැනීම submersion කියා හඳුන්වනු ලැබේ. එය හරියට පිහිනන්න ඉගැන්වීමක් නැතිව වතුරට  බැස්සවීමක් වැනිය. නිසි පරිදි පුහුණුවූ ගුරුවරු, සුදුසු විෂයමාලා , මනා පාසල් පහසුකම් නැතිව මෙසේ කිරීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන්ම ගුරුවරයා ටද විදේශීය භාෂාව හුරුනොවූ කල මෙය තවත් බැරෑරුම් වේ.

මව් භාෂාව පදනම් වූ ද්විභාෂා වැඩසටහන් වල L1 යනුවෙන් හැඳින්වෙන පළමු බස අධ්‍යයන කාර්යයේදී මුලින්ම කියවීම හා ලිවීම සඳහා යොදා ගැනේ. L 2 යනුවෙන් හැඳින්වෙන දෙවන බස ශිෂ්‍යයා තමාට හුරු ලබා ඇති කුසලතා අනික් බසකට හුවමාරු කරගැනීමට හැකිවෙන ආකාරයකට ක්‍රමානුකුලව ඉගැන්විය යුතුය.'

අපේ රටේ තිබුණු අධ්‍යාපනය මොන වගේ එකක් ද කියල මුලින්ම මදක් විමසා බැලුවොත් හොඳයි කියල හිතෙනවා. අතීත ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමක් සහිත අධ්‍යාපනයක් තමයි තිබුනේ. බෞද්ධ ජනතාව මව් බසට අමතරව සිසුන් පාලි, සංස්කෘත,වගේ භාෂා ඉගෙන ගෙන තියෙනවා.  හින්දු සිසුන් සංස්කෘත භාෂාවත්, මුස්ලිම් සිසුන් අරාබි භාෂාවත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ භාෂා ආයුර්වේදය හා ජ්‍යෝතිෂ්‍ය සඳහා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.නමුත් අධ්‍යාපන අවස්ථා සුලබ වුනේ නැහැ. පසුව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පැවතුනත් සැම දෙනාටම අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා තිබුණෙ නැහැ. මළ පොතේ අකුරුවත් දන්නේ නැහැ කියන කියමනෙන් ඒක පැහැදිලි වෙනවා. යටත් විජිත ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසීන්   විසින් දිවයින පුරා පාසල් ආරම්භ කරලා තියෙනවා.

ඒ සමග පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ආරම්භ කළ පැරිෂ් පාසල් ඉවත් වෙනවා. නමුත් සැමට සමාන අධ්‍යාපනයක් ලැබුණා යයි මින් අදහස් වන්නේ නැහැ. මේ පාසල් අතර මුදල් ගෙවා ඉගෙන ගන්න අවශ්‍ය වුනු ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සේවය කලේ රාජ්‍ය පාලනයේ පහළ මට්ටමට අවශ්‍ය සේවකයන් සකස් කර ගැනීමට. අනිකුත් පාසල් ස්වභාෂා පාසල්. මේවායේ අධ්‍යාපන මාධ්‍ය වුනේ සිංහල හෝ දෙමළ. පහසුකම් තිබෙන විට ඉංග්‍රීසිත් උගන්නලා තියෙනවා. මගේ මිත්තණිය පැවසුවා පියතුමාට සුරුට්ටු බොන්න සල්ලි දුන්නහම ඉංග්‍රීසි ඉගැන්නුවා කියල. ගැහැණු ළමයින් විදුලි පුවතක් තේරුම් ගන්න තරමට ඉංග්‍රීසි දැනුමක් ලබුවහම ඇති කියල තමයි අදහස් කරලා තියෙන්නේ.

නිදහස ලැබීමෙන් පස්සේ ලංකාවේ පාසල් පද්ධතිය දියණු වුණා .ඉංග්‍රීසි මාධ්‍ය මිෂනාරි පාසලුත් තිබුණා. පසුව ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාසල් ද බිහි වුණා. මේ අතර තීරණාත්මක ඓතිහාසික සිදුවීම් කිහිපයක් සිදුවුණා. පළමුවැන්න 1947 නිදහස් අධ්‍යාපන පනත . මෙහිදී කන්නන්ගර මැති තුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය ක්‍රියාවට නැංවුණා. අන්න එහිදී පන්ති බේදයකින් තොරව දක්ෂ දරුවන්ට 6වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා වුණා. එසේ බිහිවූ පරම්පරාව මනා ලෙස භාෂා දෙකම හසුරුවන්න පුළුවන් ද්විභාෂා උගතුන් බවට පත් වුණා. දෙවනුව 1960 දී සම්පුර්ණ අධ්‍යාපන පද්ධතියම රජයේ පාලනට නතු කරනු ලැබුවා. ඒ වගේම අධ්‍යාපන මාධ්‍ය සිංහල/දෙමළ බවට පත්වුණා.මෙයට දේශපාලනික හේතු බලපෑවා. පොදු ජනයා අතර ඉංග්‍රීසි සුද්දාගේ භාෂාව ලෙස නොසැලකිල්ලට භාජනය වුණා. ඉංග්‍රීසි උගත් දෙමව්පියොත් තම දරුවන් ස්වභාෂා පාසල් වලට යවන්න පෙළඹුණා. මෙහි නරක ප්‍රතිඵල අදටත් රට අත් විදිනවා. නමුත් පාලකයන් ඇතුළු ඉහළ පැලැන්තිය තම දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා දෙමින් ඉංග්‍රීසි,ප්‍රංශ වැනි භාෂා වල ප්‍රවීණත්වය ලබා දුන්නා. පන්ති භේදය පවත්වා ගෙන යන්න ඉංග්‍රීසිය පිටිවහලක් කරගත්තා.

දැන් කියන්න යන්නේ මා ලැබූ අත්දැකීම් කිහිපයක්. අපි 1960න් පස්සේ අධ්‍යාපනය ලැබූ පරම්පරාව. ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබුවා. සිංහල මාධ්‍ය අධ්‍යාපනය ප්‍රධාන කොට ගත් ඉගෙනීමක් ලැබුවේ. ඉංග්‍රීසි දෙවන බස ලෙස ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි අධ්‍යාපනයේ සාර්ථකත්වය ඒ ඒ ශ්‍රේණියේදී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයා මත තීරණය වුණා. ඉංග්‍රීසි විෂය කාල ඡේදයට ඉංග්‍රීසි හැකියාව අනුව වෙනම කාණ්ඩ ලෙස ඉගෙන ගන්නා ක්‍රමයකුයි තිබුනේ.  අට වන ශ්‍රේණිය වෙනකම් ඉගැන්වූ ගුරු තුමිය නිසා ඉහළ ලකුණු මට්ටමක් ලබල 9 ශ්‍රේණියේ දී හොඳම කණ්ඩායමට තේරුණා. නමුත් එතැන් සිට පැමිණි ගුරුතුමිය ඉතා කරුණාවන්ත නමුත් එතුමියගේ ඉගැන්වීම මට ගැලපුනේ නැහැ. මම කලින් ගුරුතුමියගේ කණ්ඩායමට ස්ව කැමැත්තෙන් ගියා. ඒ වෙලාවේ අනික් ගුරු තුමිය "පැදුරටත් නොකියා ගියේ ඇයිද" කියා විමසා මා නැවත කැඳවා ගත්තා. ඉංග්‍රීසි අධ්‍යාපනය එතැනින් පසු අඩාල වුණා.නිවසේ ඉංග්‍රීසි ප්‍රවීන උගතුන් සිටි නමුත් පරිසරය සම්පුර්ණයෙන්ම වගේ සිංහල. අපිට ඉංග්‍රීසි ඉගැන්විය යුතු බවක් ඔවුන් සිතුවේ නැහැ. ගෙදර තිබුණු මගේ මවගේ අබලන් ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් භාවිත කරමින් ස්වෝත්සාහයෙන් ඉංග්‍රීසි කියවීම ප්‍රගුණ කළා.

විශ්ව විද්‍යාලයේදී මුලින්ම තිබුණු ඉංග්‍රීසි ප්‍රවීණතා විභාගයෙන් සමත් වුණා. නමුත් පාරිභාෂික වචන හුරුවීම අසීරු වීම නිසා ප්‍රථම වසරේ භාෂා දෙකේම දේශන වලට සහභාගී වී සිංහල ඉංග්‍රීසි මිශ්‍ර බසකින් විභාග වලට පිළිතුරු ලිව්වා. නමුත් එම පරිසරයේ තිබුණේම ඉංග්‍රීසියට මුල් තැන දෙන වටපිටාවක්. දෙවෙනි වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යට සම්පුර්ණයෙන් ම හැරෙන්න සිදු වුණා. විශේෂ උපාධි පාඨ මාලා සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වුණා. දුෂ්කරතා මැද භාෂා වෙනසට මුහුණ දුන්නා. ස්වෝත්සාහයෙන් ම ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබූ මගේ සැමියා මට මෙහිදී බොහෝ උපකාර කළ බව ස්තුති පුර්වකව සඳහන් කරනවා.  අවසානයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවසාන උපාධිය ලැබුවා. ගුරු වෘත්තියට පිවිසීමෙන් පසු නැවත සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම කළා. වෙනත් රැකියා වලට පිවිසි සමකාලිකයන් දිගටම තමන් ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ නිසි ඵල ලබා ගත්තා. උසස් පෙළ ඉගැන්වීමේ කටයුතු වලටත් ඒ ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය බොහෝ ප්‍රයෝජනවත් වූ බව කියන්න ඕන. මං හිතන්නේ අපේ කාලයේ විද්‍යා අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුගේ කතාව මීට සමාන ඇති කියලයි.

අපිට ඇතැම් විෂයන් ඉගැන්නුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන පසුව සිංහල මාධ්‍යයෙන් උගන්වන්න සිදුවූ ගුරුවරු. ඔවුන් කියන ඇතැම් දේ අපිට තේරුනේ නැහැ. දැන් ඒකෙ අනිත් පැත්ත සිදුවෙනවා. සිංහල මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගුරුවරුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. බොහෝ විද්‍යා ගණිත උපාධි ධාරීන් නම් විශ්ව විද්යාල අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

2001 වසරේදී උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වීමත් සමග නැවත ද්විභාෂා අධ්‍යාපනය ඇරඹෙනවා. මෙය සාමාන්‍ය ජනතාව අතරට ගියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලෙස. පසුව 6 ශ්‍රේණියේ සිට විද්‍යාව,ගණිතය, සෞඛ්‍ය වැනි විෂයයන් කිහිපයක් සඳහා ද්විභාෂා මාධ්‍ය හඳුන්වා දෙනවා. මෙහිදී පැනනගින ගැටලුව ද්විභාෂා ප්‍රගුණ ගුරුවරුන් හිඟ වීම.

මා ඉගැන්වූ පාසලේ එසේ ගුරුවරුන් නැති වීම නිසා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යා විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න උසස් පෙළ ගුරුවරියක් වූ මට සිදුවුණා. එහිදී මා කලේ භාෂා දෙකෙන්ම පාඩම පැහැදිලි කර දීම. නමුත් සිංහල පාරිභාෂික පද වලට ගියේ නැහැ. ඒවා ඉංග්‍රීසි පද වලට වඩා අමාරුයි. සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියා ගැනීමට සැලැස්වූ අතර පිළිතුරු ලිවීම ද විභාගය ඉලක්ක කරගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කළා. මුලදී සිසුන් 40ක් පන්තියේ හිටියා. ඇතැම් දරුවන් දැඩිසේ භාෂා දුර්වලතාව දැක්වුවා. විෂය කරුණු අවබෝධ කර ගැනීම දුර්වල වුණා. එයින් දරුවන් 20ක් නැවත ස්ව කැමැත්ත මෙන්ම දෙමව්පිය උවමනාව මත නැවත සිංහල මාධ්‍ය වෙත හැරුණා. ඉතිරි 20 සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී හිටියා. එක දරුවෙක් හැර සියල්ලන්ම සමත් වුණා. A සාමාර්ථ ගත් දක්ෂ දරුවොත් හිටියා. මේ නිසා මේ පන්ති වලට දරුවන් දැමීමට පෙර මුලික භාෂා හැකියාව දී තිබිය යුතු බව පෙනී ගියා.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේදී පෙනී ගියා සමහර ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් ඉතාමත් හොඳ භාෂා ශෛලියකින් පිළිතුරු දී ඇති බව. ඇත්තෙන්ම විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම පහසුයි. පාරිභාෂික පද පිලිබඳ ගැටළු එන්නේ නැහැ. මේ අතරම අපි අත්දැක තිබෙනවා, සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන දරුවන් පවා භාෂාව හැසිරවීමේදී ඉතා දුර්වල බව. කෙටියෙන් කිව්වොත් පොදුවේ ලිඛිත මෙන්ම වාචික බස හැසිරවීම දුර්වල බව බොහෝ නිවේදකයන් ගේ බස වැහැරීම අනුවත මෙන්ම මුහුණු පොතේ අදහස් දැක්වීම් වලිනුත් පැහැදිලි වෙනවා.

තවත් කරුණක් තමයි අපේ රටේ ඉංග්‍රීසි භාෂාවක් වශයෙන් උගන්වන ක්‍රමයේ වරද. මේ නිසා බොහෝ සිසුන් ඉංග්‍රීසි විෂයට අකමැත්තක් දක්වනවා. දරුවන් අවුරුදු දහතුනක් පාසලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අවසානයේ ලබන දැනුමක් නැති බව පේනවා. උසස් පෙළදී සිසුන්  පාසලේදී සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙනීම විහිළුවකට හරවා ගන්නවා. පාසල ලොකු ද පොඩි ද නගරබද ද ගම්බද ද කියා වෙනසක් නැතුව මේ තත්වය දැකලා තියෙනවා. පාසලින් අස්වූ පසු  විවිධ  අමතර පන්තිවලට යමින් මුදල් ද වියදම් කර ගනිමින් අතරමං වෙනවා.

මෙසේ සලකා බැලු විට මට නම් පෙනී යන්නේ ද්වි භාෂා එළඹුම වඩා උචිත බවයි. ප්‍රාථමික පාසලේ දී භාෂා දෙකම මනා ලෙස දත්, හොඳින් පුහුණුවූ ගුරුවරයාගෙන් මෙය ආරම්භ විය යුතු වෙනවා. ඉංග්‍රීසි බසෙන් පිළිතුරු ලිවීම, දරුවන්ගේ කැමැත්ත හා දක්ෂතාවය මත  6 ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට පුළුවන්. භාෂාවක් ලෙස සාහිත්‍ය ලෙස සිංහල/දෙමළ  ඉගෙනීමත් සමාන්තරව නිසි පරිදි සිදුවෙන්න අවශ්‍යයි. දරුවන්ට කියවීම හුරු කිරීම බොහෝ ගැටළු වලට පිළිතුරු සපයාවි. උචිත දේ කියවීම මිනිසා සම්පුර්ණ කරනවා.



Wednesday, March 13, 2019

බැඳුම්

බැඳුම්



            බැඳුම් ඇත අප අතර මනරම්
            ලිහුම් ගැන සිතන්නත් බැරි තරම්
            අම්මෙකුයි දුවෙකුයි අතර තරම්
            බැඳීමක් නැතුව ඇති මෙලොව නම්...

            ලෝකයේ දෙකෙලවරට වී ඉඳන්
            එකම ඉර හඳ තරු දෙස බලන්
            සිටිනමුත්  දුරස් වී මේ තරම්
            ඇසෙනවා වගේ හඬ කණ ලඟින්

            තිරයෙන් මුහුණට මුහුණ බලන්
            කතා කෙරුවත් ඔහේ  ඇති තරම්
            ළඟ ඉඳන් රණ්ඩු කර හැටි තරම්
            රසයක් දැනෙන් නෑ වගේ මට නම්

         



            අද දෝණි කතා කළා දැයි අසමින්
            තාත්තත් නුඹ ගැන හරි විපරමින්
            දරු තිදෙන හදපු හැටි ආදරෙන්
            සිහි වෙනව ඇති තාත්තටත් දැන්

          මෙබිම හිස් බිමක් වේ යයි මෙතරම්
          සිතුවේ නෑ නුඹ පිටව ගිය දිනේ නම්
          වසර ගණනක්  දෙමින් හද රිදුම්
          හැම තැනම දැනේ ඒ සුවඳ නම්

          කාලයේ විහඟුන්ට  නැත වෙහෙසුම්
          පියාඹයි නොසොයාම මග ලැගුම්
          තැබුවත්  දිනෙක මේමගේ තිත නැවතුම්
          සිතෙයි මට එදින වත් නොබිඳේවී මෙබැඳුම්


Friday, March 8, 2019

දිමි සටන


දිමි සටන 



මේ මම දැක්ක දිමි  (Red Ant/ Fire Ant)  සටනක් ගැන විස්තරයක් . කාලය 2019 මාර්තු 08. තැන ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථා පරිශ්‍රය.  Colombo International Film festival එකේ 3.30 චිත්‍රපටිය පටන් ගන්න කම් එළියේ ඉඳගෙන ඉන්න වුණා. පොතක් ගෙනියන්නත් අමතක වුණා කියවන්න. අතේ තිබුණු කොළ කෑල්ලක් අරන් සටහනක් කුරුටු ගාන්න අවට පරිසරය දිහා බැලුවා.

ඉදිරිපස ටයිල් පොළවේ දිමි රංචුවක් විසිරිලා එහෙ මෙහෙ දුවනවා මහා කලබලෙන්. දිමියෙක් තව දිමියෙක් කරතියන් යනවා දැකල මං විමසිලිමත් වුණා. මෙන්න ඒ වගේ තව කීප දෙනෙක් වෙන එකෙක් කරතියන් හරි ඇදගෙන හරි යනවා. මම මුලදී හිතුවා මළ සිරුරු උස්සන් යනවා කියලා. හොඳට ලං වෙලා බැලුවම කරේ යන එවුන්ට පණ තියෙනවා. උන් දඟලනවා. සමහර තැනක දිමි දෙන්නෙක් එකෙක් දෙපැත්තට අදිනවා. මේ දිමි විශේෂ දෙකක සටනක් විය හැකිද ? දිමි  ඇතුළු කුහුඹු විශේෂ අතර සටන් තිබෙන බව දැන ගත්ත. නමුත් මේ ගැන එතරම් පැහැදිලි විස්තර ලැබුණේ නැහැ. ඔවුන් ආහාර, වාසස්ථාන වගේ දේවල් වලට සටන් කරනවා ඇති. කොහොම හරි විනාඩි 30ක් විතර යනකොට එතැන බිම එක දිමියෙක් වත් හිටියේ නැහැ.

දිමියන් ජීවත් වෙන්නේ ගස් උඩ නිසා මොවුන් රුක්වැසි කුහුඹු වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන කුහුඹු  විශේෂ ගණන වරින් වර විද්‍යාඥ අදහස් අනුව වෙනස් වෙනවා. 2012 රතු ලැයිස්තුවට අනුව ලංකාවේ කුහුඹු  විශේෂ 205 ක් ඇතැයි සඳහන් වෙනවා.

Solenopsis ගණයට අයත් විශේෂ ගණනාවක් දිමියන් ලෙස හඳුනා ගන්නවා Wikipedia ශ්‍රී ලංකා කුහුඹු ලැයිස්තුවේ නම් හමු වුණේ Solenopsis  germinata   හා යන  Solenopsis nitens   විශේෂ දෙක විතරයි.

Monday, March 4, 2019

Anatomy of Violence.....



Anatomy of Violence.....අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය

බොහෝ දෙනා හිතා ගෙන ඉන්න විදියට අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය එසේ වන්නේ නැති බව ඊයේ තේරුම් ගත්ත. ඊයේ කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල  Colombo International Film Festival බලන්න ගිය දෙවෙනි දවස.

ඊයේ 3.30 තිර ගත වුණේ දීපා මේතා ගේ Anatomy of Violence.....කැනේඩියානු චිත්‍රපටිය. ඔබට Water, Fire, Earth, Midnight's Children යන චිත්‍රපටි සමග දීපා මේතා මතක ඇති. විශේෂයෙන් ලංකාවේ රූ ගත කළ ලංකාවේ ළමා නිලියක් රඟපෑ Water  ඔබට අමතක වෙන්න විදියක් නෑ.

ඉතින් ඊයෙ බලපු මේ චිත්‍රපටිය සුවිශේෂී එකක්. සිනමා පටය කොටස් 4 කින් යුක්තයි.
1. Lives lived- අතීත සිදුවීම්
2. Towards zero - දුෂණය සිදු කළ දවස
3. Division of spoils - වහාම ඉන්පසු සිදුවීම්
4. Aftermath - පසු සිදුවීම්

 චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නේ 2012 වර්ෂයේ, දිල්ලියේ බස් රථයක් තුලදී බිහිසුණු තිරශ්චීන සමුහ දුෂණය කට මුහුණ දී මියගිය වෛද්‍ය ශිෂ්‍යාව මත. ඒ කතාව ඔබට මතක ඇති. චිත්‍රපටියේ විශ්ලේෂණය වෙනවා, ඒ අපරාධය කරන ලද කල්ලියට අයත් පුද්ගලයන්ගේ,අතීතය. ඔවුන් කුඩා කල පවුල් පසුබිම, හැදී වැඩුණු පරිසරය, ඔවුන් මුහුණ දුන් විවිධ දුෂ්කරතා, දුප්පත්කම, කුසගින්න, පමණක් නොවේ, විශේෂයෙන්ම ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ ලිංගික අතවර ආදී සියල්ල . කෙටියෙන් කියනවා නම් ඔවුන්ගේ සමාජානුයෝජනයේ දී සිදුවූ වැරදි පෙන්වා දෙනවා. විවිධ තත්වයන් යටතේ ලොකු මහත් වෙන මොවුන් තරුණ වියේදී  දිල්ලියට එනවා. අහඹුවක් ලෙස කල්ලිය එකතුවෙනවා. එකට ජීවත් වෙනවා. මොවුන් ජීවිත් වීමේ අරගලයට මුහුණ දෙන ආකාරය, ඔවුන් ගේ නුගත්කම, අසාමාන්‍ය ලිංගික චර්යා පෙන්වා දෙනවා.

මේ අතරම මෙහි දිගටම වරින් වර ඉස්මතු කරමින් පෙන්වනවා ඒ ගැහැණු ළමයාගේ පවුල් පසුබිම, ඇගේ ජීවිතය ගලා යන ආකාරය, ඇගේ මිතුරු මිතුරියන් හා මේ බිහිසුණු අපරාධයට මුහුණ දීමට පෙර ඇගේ අභිමතාර්ථයන් හා සිහින.
අවසානයේ මේ කල්ලිය එක්තරා රාත්‍රියක බස් රථයට නගින මේ යුවතිය සමුහ දුෂණයට පත් කර ඇගේ පෙම්වතාටද පහරදී අතරමග දමා යනවා. නමුත් චිත්‍රපටිය තුල මේ දුෂණ සිද්ධිය නිරුපනය කරන්නේ නැහැ.
සිනමා රුපීය වශයෙන් විශේෂත්වයන් කිහිපයකුත් මේ සිනමා පටයේ තියෙනවා. එකක් තමයි අපරාධ කරුවන්ගේ ළමා කාලයේ සිදුවීම් වලට පණ පොවන්නේත් වැඩිහිටි නළුවම වීම. කටහඬ පමණක් ළමා හඬින් දක්වනවා. ප්‍රේක්ෂකයාට ළමයා කුමන වයසක ද යන්න බාහිර පොතේ ගුරෙක් මගින් පෙන්වා දෙනවා. මෙය මුලදී තේරුම් ගන්න ටිකක් අමාරු වුණා. අනික් විශේෂත්වය නම් අපරාධයට බඳුන් වූ යුවතියගේ ජීවිතයේ අවස්ථා පෙන්වා අවසාන වන සෑම අවස්ථාවේම නිශ්චල ඡායාරූපයකින් අවසන් කිරීම.

අපරාධයට  පසු සිදුවීම් කිහිපයක් Division of spoils  කොටසේ පෙන්වනවා. අපරාධ කාරයෝ අහු වෙනකම් තම තමන්ගේ වැඩ කරගෙන යනවා. ඔවුන් තුළ සිද්ධිය පිලිබඳ කම්පාවක්, පසුතැවීමක් පෙනෙන්නේ නැහැ.
  Aftermath කොටස වඩා වැදගත්. ඉහළ  සමාජය ගැහැණු ළමයා පිට වරද පටවනවා. රාත්‍රී නමය වගේ වෙලාවක ගැහැණු ළමයා පාරේ ගිය එක වරදක් ලෙස ඉස්මතු කරනවා.

කොහොම හරි ජන විඥ්ඥානය අවදි වීමෙන් ජනතාව ගේ  දැඩි උද්ඝෝෂණ හමුවේ අපරාධකරුවන් කිහිප දෙනෙකුට මරණ දඬුවම හිමි වූ බව ඔබ දන්නවා. එසේ මරණීය දණ්ඩනය නියමවූ  අපරාධ කරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙම .....

ප්‍රශ්නය : ඔබ ඇයි මේ වගේ දෙයක් කරන්න  පෙළඹුණේ ?
අපරාධකරු : 'මං දන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා. දැන් ඒක වෙලා ඉවරයි '
ප්‍රශ්නය : 'ඒක ඔබ කළ වරදක් නේද ?'
අපරාධකරු : 'මගේ විතරක් වැරැද්දක් වෙන්නේ කොහොමද ? ඒක ගැහැණු ලමයගේත් වරද . ඒක ඒ වෙලාවේ වෙන්න තිබුණා'
ප්‍රශ්නය : 'ඔබ දුෂණය කළ නිසා නේද ඇය මැරුණේ'
අපරාධකරු: 'කවුරුත් දවසක මැරෙනවා. ඉතින් ඇය එදා මැරුණා'
ප්‍රශ්නය:  'දැන් ඔබ එහෙම වීම ගැන කණගාටු වෙනවද පසුතවෙනවද'
අපරාධකරු:  'නෑ ඇයි මං පසුතැවෙන්නේ'
ප්‍රශ්නය:  'ඔබට ලැබුණු දඬුවම අනුව ඔබ එල්ලා මරනවා. ඒ ගැන මොකක්ද හිතෙන්නේ '
අපරාධකරු:  'ආ ..ඔවු එහෙම වේවි ...ඉතින් මාත් කවදා හරි මැරෙනවා නේ ? දැන් මේ විදියට මැරෙනවා.'

මේ අනුව දීපා මේතා පෙන්වා දෙනවා අපරාධකරුවන්ට බොහෝ විට හෘදය සාක්ෂියක් නැති බව. තව සාකච්ඡාවේදී එක මහත්මයෙක් අදහස් දැක්වුවා මෙහෙම.  ලංකාවේ කරන ලද අධ්‍යනයකදී වයස අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ මෙවැනි වරදකාරී පුද්ගලයන්ගෙන් 90%ක්ම තම වරද ගැන පසුතැවීමක් නොවන බව හෙළිවී තිබෙනවා කියලා. මේ අපරාධයට මෙසේ දඬුවම් නියම වුවත් 2012 - 2014 කාල සීමාව තුළ ඉන්දියාවේ මෙවැනි අපරාධ තෙගුණ වී ඇති බව දීප මේතා කියනවා.

දැන් පොදු ජන මතයක් තියෙනවනේ නඩු හරහා දඬුවම් නොලැබුවත් වරද කරපු පුද්ගලයා ඒ ගැන හිතමින් මැරීමැරී උපදිනවා කියලා ජීවත්ව ඉන්නකන්ම. මට හිතෙන්නේ බොදු දහම අනුව එහෙම ද්වේශ සහගතව හතුරා දෙස බලන්න බැරි උනත් මිනිස්සු එහෙම හරි අපරාධ කරුට හිතෙන් හරි දඬුවමක් ලැබෙනවට සතුටු වෙනවා කියලා . නමුත් එය එසේ නොවෙන බව නේද පෙන්නේ. ඔවුන්ට එහෙම පසු තැවීමක් නැහැ. ඔවුන් ආපසු සුපුරුදු ජීවිත ගත කරනවා. දෙවන තෙවන වරටත් අපරාධ කරනවා.

ආයෙත් මිනිස්සුන්ට  හිත හදාගන්න ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ  තමයි බොදුනුවන් ට අනුව අපරාධ කාරයා කළ පාපයට කර්මානුරුපව මේ ආත්ම භවේදී හරි ඊළඟ ආත්ම භවයක දී හරි දඬුවම් ලැබෙන බව. වෙනත් ආගම් අනුව දෙවියන් වහන්සේ ලඟට ඔවුන්ට යන්න බැරි වෙන බව.

තව මහත්මයෙක් කිව්වා මේ අපරාධ බටහිර රටවල නැහැ, මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල්වල තමයි තියෙන්නේ කියලා. එයට ප්‍රති උත්තර දුන් බටහිර නියෝජිත වරිය කිව්වේ ' නැහැමේවා ලොව පුරා සිදුවෙනවා. ලංකාව වගේ කුඩා රටක එහි ප්‍රතිශතය වැඩිබව ඇත්ත' කියලයි.
සාමාන්‍යයෙන් පුරුෂ මූලික සමාජයේ පුරුෂයාට බලයක් හිමිකර දී තිබෙනවා,කාන්තාවට  හෝ තමාට වඩා දුර්වල පිරිමියෙක්ට හෝ පිරිමි දරුවෙක්ට හෝ තම යම් යම් පීඩන මුදා හැරීමට. එසේ කිරීම ලොකු වරදක් කොට දකින්නේ නැහැ. පිරිමි ගතිය කියල සාධාරණීය කරනවා. පිරිමි ළමයෙක් මෙවැනි ලිංගික අතවරයකට ලක් වුනොත් ඔහු ලොකු වී බලය ලැබුනහම වෙනත් තමන්ට වඩා දුර්වල කෙනෙක් හමුවේ තම පීඩනය මුදා හරිනවා. මෙය ලිංගික ක්‍රියා වලටම සීමා වෙන්නේ නැහැ. කාර්යාලයක,වැඩබිමක ඉහල තනතුරක් ලැබූ ඇතැම් කෙනෙක් ,පහළ තනතුරු දරණ පුද්ගලයන්ට අසාමාන්‍ය විදියට සැර වැර කරනවා, තරවටු කිරීම් කරනවා.

ලෝකයේ සියල්ල ඉතා සන්සුන්ව සිදුවන රටවල් නැති වුවත් සාපේක්ෂව  අපරාධ අඩු රටවල් තිබෙනවා. නමුත් අපරාධ බහුල වීමට දරිද්‍රතාවය හේතු වන බවත් සමාජ අසාධාරණය වැඩිවී ඇති නැති පරතරය වැඩිවීම අපරාධ රැසකට මුල බවත් අපගේ දේශපාලන දැනුම අනුව පෙනී යනවා. මේක විෂම චක්‍රයක් විදියට ප්‍රාග් ධනය විසින් හසුරුවනු ලබනවා.

මල් වගේ කුඩා දරුවන් මේ විෂම ලෝකය තුළ ඉතාමත් පරිස්සමින් රක බලා ගන්න කියල කියන්න ඕන. අනතුර අත ළඟ වෙන්න පුළුවන්.ඈත වෙන්න පුළුවන්. හැමතැනම අනාරක්ෂිත බව බිහිසුණු නපුරු  රාස්සයෙකු වගේ සැඟවී දත් විලිස්සාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා කියලා මේ සිනමා පටිය ඔබට කියා දෙනවා

මේ හැර අපරාධ කිරීමට පෙළඹීම් ඇති කරන ජානමය පදනමක් ද ඇති බව කියවෙනවා. නමුත් පුද්ගල චර්යා ජාන මෙන්ම පරිසරය අනුවත් තීරණය වන බැවින් පුද්ගල සමාජානුයෝජනය කුඩා කල සිට ආදරය,රැකවරණය ද සමග ආහාර, නිවාස ,අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සම්පුර්ණ වන පරිසරයක් තුළ සිදුවිය යුතු බව අවසාන වශයෙන් කියන්න පුළුවන්. එවන් ලොවක් බිහිවේවා යන්න මගේ පැතුමයි.

(ඡායා රුපය චිත්‍රපටියේ රුපරමුවක්....අන්තර්ජාලයෙන් )





Saturday, March 2, 2019

Homemade Chocolate with Cocoa beans......


Homemade Chocolate with Cocoa beans......


මේක අහම්බ සිදු වීමක්...තාත්තාට (අපේ මහත්තයට ) පන්සලේ හාමුදුරුවෝ කොකෝවා  ගෙඩි කීපයක් දීල තිබුණා . ඉතින් මේවා ඔහේ කුස්සියේ දින ගණනක් තිබුණා. ඇට වල වටේ ලොඳය පැණි රස නිසා ඒක සූප්පු කරලා ඇට ටික විසි කරලා දාන්නයි කල්පනා කළේ. ඉතින් තාත්තා කිව්වා ඔය ඇට වලින් ප්‍රයෝජනයක් ගන්න බැරිද කියලා. මටත් උනන්දුවක් ඇතිවෙලා අන්තර්ජාලයේ චොකලට් හැදීම ගැන පුළුවන් තරම් බැලුව. u tube video බැලුවා.
ඒ අනුව කොකෝ ඇට වේළුව ඉස්සෙල්ලම. ඊළඟට ඒවා කබලේ බැද්දා. කෝපි වගේ. දැන් අතින් පොතු ගැලෙව්වා. ආපහු බැද්දා. හැබැයි මගේ අතින් ටිකක් වැඩි පුර කර වුණා. grinder එකේ කුඩු කළා. ඇත්තටම කුඩු නෙමේ ලැබෙන්නේ තෙල් නිසා පාප්ප වගේ උකු තද දුඹුරු පාට දෙයක්. මේක 50g වලට විතර මෙන්න මේ දේවල් එකතු කළා.
උකු කිරි ටින් එකක කිරි
පිටි කිරි මේස හැඳි 3
සීනි මේස හැඳි 4
වතුර ස්වල්පයක් (කිරි ටින් එක සෝදා ගත්තු)
කුරුඳු පව්ඩර් තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
මේ සේරම සාස් පානක දාල ලිප  තියලා සීනි දියවී තරමක් උකු වෙනකම් හොඳින් කූරු ගාමින් රත් කරලා, අර කොකෝ තලපයත් ඒකට දාලා තවත් ටික වෙලාවක් කූරු ගාල ලිපෙන් බෑවා. ice tray එක හොඳින් තෙත ඉවත් වෙන්න පිස දාල තෙල් ස්වල්පයක් ගැව. දැන් චොකොලට්  හැන්දකින් අරන් එක එක කොටුව පිරෙව්වා. ශීත කරණයේ පැය කීපයක් තියල ගත්ත. පොඩ්ඩක් කර රසයි. පළවෙනි සැරෙනේ ...ඊළඟ සැරේ හරියට හදනවා. අපේ පොඩි කෙල්ලෝ දෙන්නා හයි වෙන්න කලීන්ම කෑවා ...එකයි පින්තූරේ කෑලි කීපයක් අඩු ...

Monday, February 25, 2019

දරුවන් නැණවත්

දරුවන් නැණවත්

දරුවන්ගේ මොළය පුදුම සහගත වේගයකින් වැඩෙනවා. අවුරුද්දක් වයස වෙනකොට ළදරු මොළය දෙගුණයක් විශාල වෙන අතර ඊළඟ අවුරුදු හතර අවසන් වෙනකොට ඒ කියන්නේ පෙර පාසැල අවසන් වෙනකොට එය වැඩිහිටි මොළයක් තරමට වැඩෙනවා. මේ වනවිට ළදරු මොළයේ නියුරෝන අතර සබදතා , උපාගම ට්‍රිලියන 1000ක් විතර ඇති වෙලා. බොහෝ කාලයක ඉදන් අපි දන්නවා ළදරුවන් එක භාෂාව කට වඩා කතා කරන්න දක්ෂ වෙන බව. දැන් නවීන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා ඒකට හේතුවෙන කාරණා මොනවාද කියල. 

අධ්‍යනයකට අනුව මාස 4 වයසෙදිත් ඔවුන් මව කතා කරන වෙනස් භාෂා වෙන්කර හඳුනා ගන්න දන්නවා. ඒ කතා කරන තැනැත්තාගේ මුවේ හැඩය, රිද්මය, මුහුණේ චලන, ඉරියව් ආදියෙන් හදුනා ගැනීමෙන්. ද්වි භාෂා පරිසරයක හැදෙන වැඩෙන දරුවෙක් මේ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව වැඩියෙන් දියුණු කරගන්නා නිසා පසුව භාෂා ඉගෙනීමේ දක්ෂද ද වැඩි වෙනවා. මේ හැර දරුවන් අන් අයගේ හැගීම් හදුනා ගැනීමටත් සංගීත රිද්මයන් හදුනා ගැනීමටත් සමත් වෙනවා. දරුවන් කතා කරන්න පෙර බොහෝ වචන වල තේරුම දන්නවා, මාස 6ක් වගේ වයසෙදිත්.
ඒ වගේම මාස 15ක් වෙන විට ඔවුන් සමාන අසමානතාව ගැනත් හොඳ අවබෝධයකින් යුක්ත වෙනවා. අන් අයට දේවල් පරිත්‍යාග කිරීමෙන් දරුවන් සතුටු වෙනවා. දරුවන් අන් දරුවන්ගේ හැසිරීම් ඉක්මනින් අනුකරණය කරනවා. ඔබේ දරුවන් සංගීතයට යොමු කිරීමෙන්  , සංගීත භාණ්ඩයක් වැයීමට යොමු කිරීමෙන් වඩා යහපත් අදහස් හුවමාරු කිරීමේ හැකියා ඔවුන් තුළ වර්ධනය වේවි.

Sunday, February 24, 2019

චාරිකා සටහන් - Shimla- Manali 08

චාරිකා සටහන් - Shimla- Manali 08

දැන් ඉතින් අපි කෝච්චියේ....විශාල පෙට්ටියක් මේක. සෙනග100ක් විතර හොඳ පහසුකම් සහිතව ඉඳගෙන ඉන්නවා. මේ දුම්රිය Chandigarh  වලින් පටන්ගත්තාම නැවතුම් දෙකක් අතරමග තියෙනවා. අවසන් නැවතුම දිල්ලිය. දුම්රිය 266km දුරක් පැය 31/2 කින් යනවා. ඒ කියන්නේ එහි සාමාන්‍ය වේගය 55km /hr විතර. දුම්රියේ වැඩි හරියක් හිටියේ ඉන්දීය ජාතිකයන්. ඔවුන් නිහඬව පොතක් කියෙව්වා, laptop එකේ හරි phone එකේ හරි යමක් කළා. කෑ ගැහැව්වේ අපි විතරයි. පස්සේ අපිත් පරිසරයට අනුවර්තනය වෙලා බොහෝ දුරට නිහඬ වුණා. අපිට රාත්‍රී ආහාරය දුම්රියේ ලැබෙන බවයි කිව්වේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. ටික වෙලාවකින් වේටර් ළමයා කඩියා වගේ දුවමින් අපිට සැන්ඩ්විච්, curd, තවත් දේවල් දෙකක් විතර එක්ක බඳුනක් පිලිගැන්වුවා. අපි හිතුවේ මේ තමයි රාත්‍රී ආහාරය කියලා. කන්න ටිකක් අමාරු වුනත් කාල අපේ බෙහෙත් එහෙමත් බිව්වා. මෙන්න ටික වෙලාවකින් අර වේටර් දරුවා ආයෙත් බඳුනක් ගෙනාපි, සුප් එකක්,ඉඟුරු විස්කෝතු වගේ දෙකක්, බටර් කුඩා බඳුනක්, සෝස් එකක් එහෙම එක්ක. අර බටර් හා සෝස් සුප් එකට දාල  ඉඟුරු නැති විස්කෝතු ඒකෙ පොගවන් කන්න කියල අන්දමන්ද වෙලා හිටි අපිට කියා දුන්නේ ප්‍රභාශිගේ එහා පැත්තේ හිටපු ඉන්දීය  ජාතිකයා. 

ඉතින් ඔන්න ඒකත් කෑව. තව ටිකකින් ගේනවා main dish  එක. ඒකෙ බත්,ව්‍යංජන ඇතුළු හැම දෙයක්ම තිබුණා. අපරාදේ සැන්ඩ්විච් කාල බඩ පුරවා ගත්තේ කියල හිතුණා. පොඩ්ඩක් කෑව හැම දෙයින්ම. අපේ කට්ටිය වේටර් කොලුවා ඉන්න පැත්තට එබිලා කිව්වා තව මොනවාද ලෑස්ති කරනවා කියලා. මෙන්න ලොකු අයිස්ක්‍රීම් එකක් ඊ ලඟට. ඒක නම් හරිම රසයි. මේ එක ළමයෙක් කිසි කතාවක් නැතුව සේරටම සංග්‍රහ කළ හැටි අපුරුයි. අපේ රටේ නම් දහයක් වත් ඉන්න වෙයි. 
දුම්රියේ වේගයත් අපි පහු කරන්නේ කුමන ස්ථානයක් ද යන්නත්, තව කොතරම් වෙලා යනවා ද යන්නත් තිරයක සටහන් වෙනවා. ඉතින් ඒ අපූරු කෑම වේලෙන් පස්සේ ටිකක් අපි නිදා වැටී වැටී ගිහින් අන්තිමේ ගමනාන්තයටත් ආවා . අපි දිල්ලියේ කලින් හිටපු හෝටලයටම එන විට රෑ 10.00 පහු වුණා. දිය නෑමෙන් 
පස්සේ ඉක්මණින්ම නින්දට වැටුණා.



අවදි වුණේ 23.01.2019 උදේට. උදේ ආහාරයෙන් පස්සේ සාප්පු සවරියයි යෙදී තිබුනේ. මට කියලා ගන්න එතරම් දෙයක් හෝ වුවමනාවක් නොවුණත් සුමනා, ජයරත්න, බැංකු මහත්තයා  ඇතුළු කිහිප දෙනෙක් එක්ක කඩ වීදිවල ඇවිද්දා. කොහොමටත් මේ පිරිමි පරාණ දෙකට නෝනා මහත්වරුන් ට ,දුලා ,ලේලිලා ,මිනිපිරීලා ට ඕන කරන ඇඳුම් ගන්න අපි හැම විටම උදව් වුණා. ඒ ගොල්ලොත් අපේ ආරක්ෂක නිලධාරීන් වුණානෙ. ඒ තමයි මනුස්ස බැඳීම, සාමකාමී සහජීවනය. 

සුමනාට සාරිත්, මගේ පොඩිත්තන්ට ඇඳුම් කීපයකුත් ගත්තා. යාචක දරුවෝ, වැඩිහිටියෝ ඇගේම හැපෙනවා. විවිධ බඩු විකුන්නන්ගෙන්,තැරැව් කරුවන්ගෙන් බේරුමක් නැහැ. සපත්තු මදින්න ඉදිරිපත් වන දරුවන්ගෙන් අපේ කට්ටිය අනුකම්පාවටම සපත්තු මද්දවා ගත්තා. කඩවීදියේ හෝටලයකින් දිවා ආහාරයත් ගත්තා. ඊට පස්සේ නැවත හෝටලයට ඇවිත් ගමන් මළු ලෑස්ති කරගෙන සවස තුනට විතර පිටත් වුණා, දිල්ලි ගුවන් තොටුපලට යන්න. වාහන තදබදයත් තිබුණා. කොහොම හරි වෙලාවට ගුවන් තොටුපලට ආවා. එය ඉතා විශාල ලස්සනට භුමි දර්ශන සකස් කළ මනරම් භුමි භාගයක්. හුගාක් ගහ කොළ ,මල් වවා තිබෙනවා. සවස 6.00ට පමණ  ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් ගුවන්ගත වූ අපි රාත්‍රී භෝජන සංග්‍රහයත් භුක්ති විඳලා මව්බිමට ගොඩබහින විට රෑ 10.00 විතර වුණා. ගමන් සගයන්ට සමු දෙමින් තවත් එක් සුන්දර චාරිකාවක නිමාව සනිටුහන් කළා.  
(ඡායා රූප අන්තර් ජාලයෙන් ) 

Tuesday, February 19, 2019

චාරිකා සටහන් - Shimla- Manali 07

චාරිකා සටහන් - Shimla- Manali 07















Hadimba Devi Temple

අපේ චාරිකාවේ හය වෙනි දවසටත් උදා වුණා. සුපුරුදු විදියට උදේ ආහාරයෙන් පස්සේ අපි යනවා හින්දු පන්සල් දෙකකට. එකක් Vashist  Temple. අපිට ලැබුණු පොඩි වෙලාවේ පන්සලට ගිහින් ඊ ලඟට ඒ හරියේ තියෙන කඩ සාප්පු වලත් ඇවිද්දා. කජු ටිකක් මිලට ගත්තා, ලාබ නිසා. එත් ලංකාවේ කජු වගේ රස නැහැ. ඉන් පස්සේ අපි ගියා Dhoongri  නැත්නම් Hadimba Devi පන්සලට. මෙය හිමාලය කඳු පාමුල කඳුකර ප්‍රදේශයක, කිහිරි (Cedar ) වනාන්තරයක පිහිටලා තිබෙනවා. මෙය මහා භාරතයේ එන භීම ගේ බිරිඳගේ නමින් තමයි හැඳින්වෙන්නේ. මෙය 1553 දී මහරාජා බහදුර් සිංග් විසින් නිර්මාණය කරන ලද එකක්. මෙහි අලංකාර ලී කැටයම් මට සිහිපත් කලේ ඇම්බැක්කේ දේවාලය. රූස්ස ගස් සහිත භුමිය අලංකාර දසුනක්. 

හවස් වරුව අපිට තිබුණේ නිදහසේ සැරිසරන්න. මනාලි කඩවීදියේ (Mall Road) ඇවිද්දා. මෙහේ බව්වෝ හරිම සුරතල් පෙනුමක් දරනවා.බූල් පිරිලා , හරි මහතයි. හරිම මිත්‍රශීලී , photogenic. අපේ කට්ටියේ ප්‍රභාශි කෙල්ල බව්වන්ට පණ ඇරලා. බිස්කට් කවනවා, අත ගානවා. මාත් ටිකක් ඒ ජාතියෙනේ ...Mall Road  එකේ බව්වෝ ගොඩක් හිටිය. 

ටික වෙලාවකින්  කෙල්ලෝ දෙන්නා මහා විසාල කේක් කැල්ලක් ගෙනත් අපිටත් කැව්වා. පැණිරස පෙරේතයෝ දෙන්නනේ. බිත්තර නොදාපු කේක් ලු! අපි සුමනාට සාරි ගන්න ඇවිද්ද. Kullu shawl ලාබෙට තියෙනවා. මෙන්න ටිකකින් කෙල්ලෝ දෙන්න අතුරුදහන් වෙලා. අපි දෙන්න එක්ක ඉන්න කියලයි තාත්ත උපදෙස් දීල තිබුණේ. දැන් තාත්තත් කලබල වෙලා. ඔක්කොම පැත්තක තියල අපි දෙන්නත් කෙල්ලෝ හොයන්න පටන් ගත්තා. මෙන්න ඉන්නවා ලී පතුරු වල මතක සටහන් එවෙලේම ඇඳලා දෙන තැනක. අනේ මෙහෙම කෙල්ලෝ දෙන්නෙක්. 

අපි කෝපි බිව්වා කට්ටියක්ම එකතු වෙලා. ඒ හවස් වරුව ගෙවිලා ගිහින් අපි ආයෙත් හෝටලයට ආවා. එදා හරියට නින්ද ගියේ නැහැ. සැරින් සැරේ ඇහැරුණා. එක සැරයක් රතිඥ්ඥා පුපුරවනවා වගෙත් ඇහුණා. මන් සුමනගෙනුත් ඇහුව ඒ ගැන. එයාටත් ඒ ගැන අදහසක් තිබුණෙ නැහැ. පස්සේ නොදැනීම වෙහෙසට අපිට නින්ද ගියා. 

මේ අපේ චාරිකාවේ හත්වෙනි දවස. කොහොම හරි උදේ අවදි වෙලා එළියට බැස්සහම තමයි දැක්කේ මිදුල පුරා පිරිලා තිබුණු හිම ගොඩ. හිම වහලට වැටෙන සද්දේ තමයි රෑ ඇහිලා තියෙන්නේ. අද හුඟක් උදෙන්පිටත් වෙන්න තිබුණා. අපි යන්නේ Chandigarh වලට. Chandigarh දුම්රිය නැවතුම් පළෙන් Shatabdi Express Train එක ගන්න නියමිතව තිබුණා. උදේ පිටත් වුනේ අලුත් හිම උඩ මිසක් තැලුණු හිම උඩ අපේ බස් එකට යන්න බැරි නිසා කියල කුමාර් කිව්වා . 294km  දුරක් තියෙනවා, මනාලි සිට Chandigarh දක්වා.

අන්තිමට හෝටලයෙන් එළියට බැස්සේ හිම උඩට. හිමින් අඩි තියමින් බස් එක ලඟට එන කොට තිබුණු වාහන හැම එකක් උඩම හිම තට්ටු පිටින්. එතැනදිත් අපේ ප්‍රභාශි කෙල්ල හීතලේ ගැහි ගැහී හිටිය බව්වෙකුට බිස්කට් කවනවා. අපි කවුරුත් මනාලි වලට සමු දෙමින් එන්න පිටත් වුණා. අඳුරේම හිම කපා ගෙන බස් එක ඉස්සරහට ඇදුනා. මේ වර පාරවල් හොඳ බව තේරුණා. උදේ ආහාරය ගත්තේ බස් රථයේම ඉඳගෙන. තේ බොන්න නතර කළා. දිගින් දිගටම ගිහින් කුඹුරු යායවල් වැඩි සශ්‍රීක ප්‍රදේශයකට ඇතුල් වුණා. ඒ පන්ජාබ් ප්‍රාන්තය බව කුමාර් කිව්වා. ඒ ප්‍රාන්තය පොහොසත් බවත් කිව්වා. පන්ජාබ් යන්නේ තේරුම 'ගංගා පහ' යන්නනයි. මේ ගංගා පහ තමයි Jelum, Chenab, Ravi, Bias, and Sutlej.  මේවා එකතුවී Indus ගඟ හැදෙනවා. මේ කීපයක් හරහා යන පාලම් අපි පහු කරා . 

පන්ජාබ් අවන්හලක (Alpine Dhaba)දිවා ආහාරය ගත්තා. ගත්තා කීවත් අපේ කවිදු පුතාතමන්ගේ  වියදමින්  අපිට ඒ සංග්‍රහය දුන්නා. මේ වනවිට වැස්ස වැටෙමින් තිබුණා. මේ අවන් හලේ පන්ජාබ් ප්‍රාන්තයේ ඉතිහාසයත් ජන ජීවිතයත් පෙන්වන මුර්ති සකස් කර තිබුණා. 

දිවා ආහාරයෙන් පස්සේ තවත් පැය කිහිපයකින් අපි Chandigarh දුම්රිය ස්ථානයට ආවා. එය මනරම් තැනක්. ඒ තරම් ලොකු නැහැ. Station එක ගාවදී අපිට බස් එකේ රියදුරුට සහ සහායකට සමුදෙන්න තිබුණා. ඇත්තටම ඔවුන්ගේ සේවය විශිෂ්ටයි. අර තරම් දුෂ්කර මාර්ගවල අපි පරිස්සමින් අරන් ආව එක ලොකු දෙයක්. සහායක තරුණ ළමයත් බසයෙන් නගිද්දී බහිද්දී වයසක අපට හුගාක් උදව් වුණා. අපි ඔවුන්ට ස්තුතිය පළ කර, ඔවුන්ගේ ඉල්ලීමට ඡායා රූපයකට ද පෙනී සිට සමු දුන්නා. දුම්රියෙන් බැස්ස තැන  සිට අපට වෙන බස් එකක් ලැබීමට නියමිතව තිබුණා. 






 ටික වෙලාවකින් අපි දුම්රියට නැග්ගා. දුම්රියේ සුන්දර ගමනත් අපේ චාරිකාවේ අවසානයත් ඊළඟ කොටසින්....

Wednesday, February 13, 2019

චාරිකා සටහන් - Shimla- Manali 06



චාරිකා සටහන් - Shimla- Manali 06

අද උදාවුනේ ජනවාරි 20වෙනිදට. උදෑසන ආහාරයෙන් පස්සේ විශේෂයෙන් සීතලට ඔරොත්තු දෙන විදියට ඇඳුම් වලින් සැරසුණා. මේ වනවිටත් මගේ නම් නාසය වටා හම ගිහින් අපහසුතාවයෙන් හිටියේ. හැබැයි ගෙදරින් එද්දී තිබුණ නාසයේ අවහිර ගතිය, පීනස් ගතිය ඉබේම හොඳ වෙලා. අරන්ගිය බෙහෙත් තොගය ඕන වුණේ නම් නැහැ. අද අපේ චාරිකා විස්තරය අනුව Rohtang Pass හෝ Solang Valley තමයි උදේ වරුව. 

Rohtang Pass තියෙන්නේ මනාලි වල ඉඳලා 51km දුරින් 3980m ඉහලින්, Manali Keylong highway එකේ. මෙතැන රටේ හා ලෝකයේ නන් දෙසින් හිම ක්‍රීඩා හා විනෝදය පිණිස සංචාරකයන් ඇදී එන ඉතා සුන්දර ස්ථානයක්.  මෙතැන සමාන්‍යයෙන් සංචාරකයන්ට විවෘත වෙන්නේ අවුරුද්දේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා බවයි සඳහන් වෙන්නේ.
මේ මාර්ගයම ජම්මු කාශ්මීර් දක්වා ඇදී යනවා. පාරවල් මුළුමනින්ම හිමෙන් වැසෙන නිසා හිම පතනය වෙන කාලෙට මෙහි යන්න බැහැ. මෙයට නුදුරෙන් Sonapani ග්ලැසියරය හා Gaypan ද්විත්ව කඳු ශිඛර  පිහිටා තිබෙනවා. සොබාදම් මෑණියගේ තුරුළේ නැළවෙන්න සංචාරකයින් මෙහි පැමිණෙනවා. සංචාරකයින් තවත් යන තැනක් තමයි හින්දුන්ගේ ශුද්ධ වූ ස්ථානයක් වන Beas ගඟ ඇරැඹෙන  Beas Kund. Rohtang Pass කියන එකේ තේරුම 'මළවුන්ගේ බිම' යන්නයි.මේ  දුෂ්කර ගිරි දුර්ග තරණයේ  දී අතීතයේ හුගාක් මිනිස්සු මැරිලා තියෙනවා. මෙය තියෙන්නේ හිමාලයේ Pir Panjal කඳු වැටියේ. Rohtang Pass ප්‍රමුඛව හින්දු සංස්කෘතිය ඇති  කුල්ලු නිම්නයටත් ප්‍රමුඛව බෞද්ධයින් ඉන්න ඉහළ උන්නතාංශයේ ඇති Lahaul and Spiti Calleys වලටත් ප්‍රදේශය ස්වාභාවිකව  බෙදනවා. ඉතින් අපි ගිය කාලය අනුව මෙහි එන්න වරම් නැහැ. මෙය ශිශිර ඍතුවේදී වහලයි තියෙන්නේ. මෝටර් වාහන ඇතුල් කිරීමට විවෘතව පවතින්නේ ජූනි සිට ඔක්තෝබර් අග දක්වා පමණක් වීම එයට හේතුවයි. මිහිපිට දෙව්ලොවක් වන් ඒ බිමට ඇතුල් වෙන්න නම් ඔබ ඒ කාලය ඇතුළත යන්න ඕන. 

ඉතින් අපි යන්නේ Solang Valley වලට. මනාලි ඉඳලා 13km ක් ඈතින් තියෙන්නේ. මෙය කුල්ලු නිම්නයේ ඉහළින් ඇති එක පැත්තක්. Solang ගම හා Beas Kund අතර පිහිටලා තියෙනවා. Rohtang Pass යන පාරෙමයි යන්න තියෙන්නේ. පාරවල් නම් හිම දියවෙමින් ගලා යන වතුර නිසා එකම මඩ ගොහොරුවක් වගේ තමයි. 

බස් රථයෙන් මේ ගමන  යන්න බැහැ, අපිව වෙනත් four wheel drive වාහන දෙකකට නග්ගනවා. එක්තරා ස්ථානයකට ගිහින් එතැනින් මුදල් ගෙවා විශේෂ ඇඳුම් කට්ටලයක්, බූට් සපත්තුද සහිතව ගන්න ඕන. සාමාන්‍ය සපත්තු වලින් හිම මත ඇවිදින්න අමාරු වගේම අපේ ඇඳුම් තෙමීම වළක්වන්න මෙහෙම කරන බවයි කුමාර් කිව්වේ. එතැනදී හිම සඳහා වෙනම අව් කණ්නාඩි ජාතියක් විකුණා ගන්න වෙළෙන්දෝ නොදැම්ම උප්පරවැට්ටියක් නැහැ. මං කුමාර්ගෙන් ඇහුවම එයා කිව්වා ඒවා ඕන නැහැ කියලා. කොහොමත් අපි ගාව අව් කණ්නාඩි තිබුණ නේ .. 
දැන් අපි ඔක්කොම හරියට ගගන ගාමීන් වගේ. ලොකු ලොරි පාරේ යනවා දැක්ක. පළමු වතාවට තමයි දැක්කේ රෝද වලට දම්වැල් ඔතලා හිම මත යන වාහන. 
වාහන තදබදය තදින්ම තිබුණා. අපේ කට්ටියගේ ඉවසීම රතු කට්ට පනිමින් තිබුණා, හරියට ලංකාවේ traffic ඉඳලා ම නෑ වගේ. හැබැයි සිංහලෙන් බැන්න ඒවා රියදුරාටවත්, කුමාර්ටවත් තේරෙන්නේ නෑ. 


පාරේ තත්වය අනුව වාහන ඉස්සරහට යවන බව පසුව දැනගන්න ලැබුණා. පාර දෙපැත්තේ ඇපල් වතුවල ගස්වල ඉපල් විතරයි දකින්න ලැබෙන්නේ. ශීත කාලයට පෙර සේරම කොළ හලාගෙන, දුකසේ බලා ඉන්නවා වගේ පේනවා. අන්තිමේ Solang Valley කරා ආවා. පරිස්සමින් අඩිය තියමින් යන්න ඕන. හිම ලිස්සනවා. අලුත් හිම වලට වඩා තැලී ගිය හිම භයානකයි. සමහර තැනක කකුල එරී යනවා යටටම. 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතැන නම් හරිම ලස්සනයි. බැලු බැලු අත හිම කඳු. දේවදාර ගස් පේළි ඒ අතර. මෙතන ක්‍රීඩා කීපයක් ම තියෙනවා. ඒවා තමයි Skiing, Quad biking, Zorbing ( විශාල විනිවිද පේන ගෝලයක්  ඇතුලට ගිහින් පෙරළි පෙරළී යාම ) , Paragliding, Horse riding, Yak bull riding, Cable car riding වගේ ඒවා. තව ටයර් එකක ඉඳගෙන පහළට රූට ගෙන එන එකකුත් තිබුණා. 
පාරම්පරික කුල්ලු ඇඳුම් ඇඳන් පින්තූර ගන්න කියලා කාන්තාවන් ඇවිල්ලා වද කරනවා. මේ සීතලේ ඔවුන් ජීවිකාව ගෙන යන්න කීයක් හරි සොයාගන්න වෙහෙස වෙනවා. මේ ප්‍රදේශ වල හිඟාකන මිනිස්සු දැක්කේ නැහැ. මොකක් හරි වෙළදාමක් කරන්න තමයි බැලුවේ. 
මමයි  සුමනයි කෙටි bike ride එකක් ගියා. ski කරණ විලාසයෙන් පින්තුර ගත්ත. අපි හිම බෝල අරන් ගහ ගත්තා. හිම මත වැතිරිලා හිටියා. හැමෝම වගේ වැටුණා. අපි දෙන්නා නොවැටී බේරුණා. අපේ කට්ටියේ හිටිය සුනා හුගාක් ක්‍රීඩාවල යෙදුණා. සුනා අපේ ගමන් සගයින් අතර හිටිය චාරිකාවම ජීවිතය කරගත් විනෝදකාමී, හිතහොඳ තනිකඩ කොල්ලෙක්. මිනිහා ස්විස් වල අවුරුදු ගණනක් හිටිය කෙනෙක් නිසා හිම ක්‍රීඩා දන්නවා. ගමන් සගයින් අතර තව හිටියා කවිඳු කියන පොඩි එකාත්. පොඩි කිව්වට පොඩිම නැහැ. මිනිහ ව්‍යාපාර වගයක් කරන කෙනෙක්. තව හිටියා තැඹිලි වතුර බෝතල් කරලා ඇමරිකාවටත් යවනවා කිව්ව ව්‍යාපාරික යුවලක්. මට නම පොඩ්ඩක් මතක නැහැ. බැලුවහම පොඩි මිනිහෙක් වුණාට වැඩ ලොකුයි. 

අපි දවාලට කෙටි කෑම වලින් පිරිමහ ගත්තා. එතැන නූඩල්ස්, පැස්ටා එහෙම තියෙනවා. අනික් ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීම යුද්ධයක් වුණා. ඇයි ඇඳුම් කීයක් ඇදලද හිටියේ. අනික ඒ ස්ථාන හරිම අපිරිසිදුයි. මං ඒ අවශ්‍යතා ඉවසගෙන හිටියා. සුමනාට එහෙම බැහැ. කෙසේ හෝ ඇය අපහසුතා මැද ඒ වා ඉටුකර ගත්තා. 

දැන් ඉතින් ඇති කියලා වාහන වලට ගොඩවෙනවත් එක්ක හිම පතනය ආරම්භ වුණා. ජීවිතයේ පළමු හිම අත්දැකීම. ඒක හීනයක් වගේ තාම මතකයට එනවා. අනික් අය ක්‍රීඩා ඉවර වෙලා එනකොට තව වෙලා යන නිසා අපේ වාහනය එන්න පිටත් වුණා. මොන ඒමක්ද ? එහෙම traffic එකක් ජීවිතේට දැකල නැහැ. හිටිය හිටියා ....පැයකටත් වැඩිය හිටියා. අනිත් අයත් ඒ අතරේ ඉවර වෙලා. අන්තිමේ දී ඇඳුම් මාරු කළ තැනට ඇවිත් ඒවා බාර දුන්නා. එතනදී අමතක නොවන සිදුවීම් වුණා. ඒවා ඉන්දියාවේදී සාමාන්‍ය දේවල් ....හිනා වෙලා පණ ගියා. ඈන් තමයි ප්‍රධාන නිළිය. ඒ කතාවත් කියලම ඉන්නම්, ආයේ හංගන්න දෙයක් නැහැනේ. ඔන්න අර ඇඳුම් බාරදෙන තැනට එනකොට ඈන්ට එක වුවමනාවක් හරිම තදට දැනිල. එයා ඒ අසල තැනකට ගිහින් ඒ අවශ්‍යතාව ඉටුකරගන්න තැනක් අහල. කතාවෙන් තේරිලා තියෙන්නේ ඒ තැන තියෙනවා ඒ ලඟම කියලයි. හැබැයි පොඩි පැල්පත් වගේ නිසා මිදුලක් වගේ තැනක් ලු තිබිල තියෙන්නේ. ඈන් ඉක්මණින්ම අවශ්‍යතාවය ඉටුකරගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් ඉබේම අවශ්‍යතාවය ඉටුවෙලා. තව මොහොතක්වත් ඉන්න බැරුව. කළ ගෙඩියක පරිමාවටත් වඩා වැඩියිලු. පස්සේ අර අයිති මනුස්සය විලාප දීල. " My god! It's my room....it's my room "කියල. ඒ විතරක් ද වතුර බාල්දි ගෙනත් ගෙනත් එතන හෝදන්නත්  පටන් ගත්තලු. සුමනට නම් හරි තැනක් හම්බ වෙලා. සුනා නම් උඩින් තිබ්බ තාප්පයක් හොයා ගත්තලු. ඒ හීතලත් එක්ක මේ අවශ්‍යතාවය හරිම වැඩියි.ඉන් පස්සේ අපි නැවත මනාලි හෝටලයට ආවා. ඒ සැන්දෑව සුන්දරයි හොදටම . රාත්‍රී ආහාරයට පෙර දවසේ සිද්දි මතක් කරමින් හිනා වුණා...ඊළඟ දවසෙත් අපි මනාලි වලයි.      

Sunday, February 10, 2019

චාරිකා සටහන් - Shimla- Manali 05

චාරිකා සටහන් - Shimla- Manali 05


                                                     Hanogi Matha Temple 

අද අපේ චාරිකාවේ පස්වෙනි දවස. 19.01.2019. උදේ අවදිවෙලා, සප්පායම් වෙලා මනාලි දක්වා යන ගමන ආරම්භ කලා. ශිම්ලා හෝටලයේ ආගන්තුක සත්කාර වලට ස්තුති කරලා සමුඅරන් යන්න පිටත් වුණා. මේ ගමන බොහොම දුෂ්කර කඳු පාරවල් දිගේ තමයි ඇදෙන්නේ. ශිම්ලා සිට 49km ක් ගියහම Daldamode හමුවෙනවා. මෙහි තියෙනවා ලෝකප්‍රසිද්ධ අම්බුජා සිමෙන්ති කම්හල. එහි සිට තව දුරක් ගියහම Bage හිදී Jaypee සිමෙන්ති කම්හල තියෙනවා. 78km ගියාට පස්සේ Beri හන්දිය හමුවෙනවා. මෙහිදී දිල්ලි, Chandigar, kalka  පාරවල් සම්බන්ධ වෙනවා.   

තවත් 6km ගියහම Barmana වලදී ACC සිමෙන්ති කම්හල හමුවෙනවා. ශිම්ලා සිට 105km ගියහම Bilaspur ද ඉන්පසු Haribag ද හමුවෙනවා. මෙහි දිවා ආහාරය සඳහා අවන්හල් / Dabas හමුවෙනවා. දකුණු පසින් සුන්දර් නගර් විල තියෙනවා. සුන්දර් නගර් කියන එකේ තේරුම beautiful place කියලයි කුමාර් කිව්වේ. මෙහි සිට 25km යනවිට මැන්දි හමුවෙනවා. මෙහිදී අපට Beas ගඟ දැක ගන්න ලැබෙනවා. මැන්දි සිට 12km යනවිට අපට දකුණු පැත්තේ Pandoh Dam දකින්න ලැබෙනවා. දැන් අපි කඳු නැග ගෙනයි යන්නේ. තවත් 12km යනවිට ඈතින් Anokhi  Matha Temple දකින්න පුළුවන්. දකුණෙන් Beas ගලා බසිනවා. සුන්දර දසුනක්. තවත් 20km වලින් පස්සේ Aut ලගාවන අතර මෙයට පෙර 2.8km දිග උමගක් පහුකරනවා. මීළඟට අපි ලඟා වන්නේ කුල්ලු දිස්ත්‍රික්කයට.  මේ අතරමගදී පාර්වතී ගඟ Beas ගඟට එකතු වෙනවා. මේ ගඟවල් Indus ගඟේ අතු ගංගා.



                      මග දිගට ඉඳිකිරීම්

මීළඟට අපි කුල්ලු වලට ලඟා වෙනවා. ඒ වනවිට අඳුර දසතින් ගලා ඇවිත්. කුල්ලු කියන්නේ වෙනම සංස්කෘතියක්. එයට අදාළ සම්ප්‍රදායන් තියෙනවා. එහි උපන් වැසියන්ගේ එයට  අදාළ හැසිරීම්, වෙළඳ පොළ, ආහාර, විශ්වාස, හා ඇඳුම් ඒ අතරින් විශේෂ වන අතර කුල්ලු ජීවන රටාව පරිසරය හා බද්ධ සරල එකක්. සම්ප්‍රදායික කුල්ලු ඇඳුම් තියෙනවා. කුල්ලු shawl හරිම ජනප්‍රියයි. අපි ඒ factory outlet එකකට ගියා. අපේ කට්ටිය shawl ,සාරි, woolen jackets , ඇඳ ඇතිරිලි මිලදී ගත්ත. සාප්පුවෙන් තේ පැන් සංග්‍රහයකුත් ලැබුණා. අපේ කට්ටියේ හිටිය තව තුන්දෙනෙක් ගැන නොකියම බැහැ. ඒ කොළඹින් ආපු තාත්තයි දු පැන්චියෝ දෙන්නයි. තාත්තා ප්‍රභාත් මහත්තමය. මේ දුලා දෙන්නා ඇඳුම් වලට වඩා පැණිරස කෑමට තමයි ආසාව. ඉතින් මේ දෙන්නා තාත්තත් එක්ක කුල්ලු ඇඳුම් පැත්තක දාල චොකලට් කඩ වැඳලා, ඇතිවෙන්න චොකලට් මිලදී අරන්. මටත් මිනිපිරියන්ට ටොෆි, චොකලට් ටිකක් ගන්න ඕන කම තිබුනත් රෙදි කඩයට වෙලා හිටි හින්ද ඒ අවස්ථාව මග ඇරුණා. කුල්ලු වලට ආවේනික ඇඳුම් සම්ප්‍රදාය අතර පිරිමින්ගේ  කුල්ලු තොප්පිය විශේෂයි. 

අපේ කණ්ඩායමේ හිටිය ශ්‍රී ලංකා සංචාරක සේවයේ යෙදෙන සිරිසෝම මහත්තයා එයින් තොප්පියක් අරන් හිස පැළඳගෙන "  Now I'm a Kullu man. I'm searching for a Kullu girl"   කියමින් හිටියා shawl සාප්පුවේ ගැණු ළමයින් අතරේ. මන් හිතන්නේ සිරිසෝම නෝනට ඒක ඇහුනෙ නෑ වෙන්නැති. ඇහුණත් ඒ නෝන ගණන් ගන්න එකක් නෑ. හොඳ සංචාරක යුවලක් ඒ දෙන්නා. 

දැන් ඉතින් රෑ වෙලා. අපි තව 40km දුර ගෙවාගෙන මනාලි වලට ඇවිත් Hotel Royal Regency වෙත ආවා.කුමාර් කිව්වේ නම් අපි මනාලි වලට ආවේ bypass පාරක කියලයි. හැබැයි පාර දිගටම Hydro-power Project එකක  වැඩ කෙරෙමින් තිබුණ නිසා පාරේ හරිම අපහසුතා ඇතිවයි එන්න වුනේ. හැමතැනම යන්ත්‍රෝපකරණ,ගල් හා පස් ගොඩවල් දක්නට ලැබුණා. හෝටලය එතරම් ලොකු භුමි භාගයක පිහිටා තිබුණේ නැතත් ආගන්තුක සත්කාරය නම් ඉහළ මට්ටමක තිබුණා. හරිම ශීතලක්....කාමර වලට heaters ලැබුණා. මනාලි හෝටල් වල lift නෑලු. අපිට පළමු මාලයම ලැබුණු නිසා ලේසි වුණා.  තවත් දවසක් ඉවර වුණා.

   
මගදී දැක්ක Bryophyta ශාකයක් 

(Hanogi Matha Temple , සිතියම,කුල්ලු තොප්පිය,කුල්ලු shawl ඡායා රූප අන්තර්ජාලයෙන්. )

Wednesday, February 6, 2019

චාරිකා සටහන් - Shimla- Manali 04



චාරිකා සටහන් - Shimla- Manali 04

                                                Kufri සිට හිමාලය කඳු පෙනෙන හැටි

18.01.2019 දිනට උදා වුණා. අපි ඇහැරිලා සුදානම් වුණේ ශිම්ලා අවට ප්‍රදේශය නරඹන්න යන්න. උදේට සප්පායම් වෙන්න හොඳ ආහාර වේලක් හෝටලයෙන් ලැබුණා. අපි පිටත් වුනේ උදේ 9.30ට පමණ. බස් රථයෙන් අපි ගියේ Kufri කියන ප්‍රදේශයට. එහි සිට බලන විට හිමාලය කඳුවැටියේ කොටසක් අත ළඟ වගේ දර්ශනය වුණා. නමුත් මේ අපි බස් රථයෙන් බැස්ස ස්ථානය අශ්ව ගාලක්. සංචාරකයන් පිනවීමේ අරුතට වඩා මුදල් ඉපයීමේ මාර්ගයක් කරගත් ඒ නිසාම සුන්දරත්වය වැනසී ගිය තැනක් හැටියටයි මං මෙතන දැක්කේ. අශ්ව වසුරු, මඩ ගොඩවල් එහි පිරිලා. අශ්වයන් මුදල් උපයන යන්ත්‍ර වගේ. අශ්වයකු /පෝනියෙකු පිටේ යන්න විශාල මුදලක් අය කරනවා. ඒවායේ තැරැව් කරුවන් හැම තැනම. අශ්වයෙකුගේ පිටේ ගියොත් විතරයි නිම්නයට ලඟා වෙන්න පුළුවන්. ඔවුන් එහෙම මාර්ගය හදාගෙන. පයින් යන්න බැහැ.


ආයෙත් මං මේ කියන්න යන්නේ අපේ කණ්ඩායම ගැන. එක්කෙනෙක් තමයි බැංකු මහත්තයා. බැංකුවේ රැකියාවෙන් විශ්‍රාම ලබල දැන් කාලයක ඉඳන් සංචාරය කරනවා. ගමන් බලපත්‍රයත් කිහිප වතාවක් අලුත් කරන්න වුනාලු ඇවිදපු තරමට. බොහොම නිහඬ චරිතයක්. සැර ජාති බොන්නෙත් නැහැ. හැබැයි අපේ ආරක්ෂාව ගැන නිතර බැලූ හොඳ මහත්මයෙක්. ජයරත්න  රජයේ සේවයෙන්  විශ්‍රාම අරන් ඉන්න, නමුත් තව දුරටත් පුණ්‍යායතනයක සේවයේ යෙදෙන මහත්මයෙක්. හොඳ ගායකයෙක් වගේම ටිකක් ඇඟ රත් කරගන්නත් ඕන කෙනෙක්. තමා හා තම බිරිඳ උගත් පරපුර නියෝජනය කරනවා වගේම තමාගේ දු දරුවන්ට හොඳින්  උගන්වලා, ඔවුන් සැලකිය යුතු තැන්වල දෙස් විදෙස්වල ඉන්න බව ඉතා සතුටෙන් කිව්වා.හැබැයි මේ ගමන නෝනව එක්ක ආවේ නෑ, ඇයට අධික ශීතල ඔරොත්තු දෙන්නේ නෑ කියලා. නිතරම අපිට ආරක්ෂාව සපයන්න ඉදිරිපත් වුණ හොඳ යාළුවෙක්.

ඉතින් ආයෙත් ගමන ගැන. මම කොහොමත් සතුන් පිට යන්නේ නැති නිසා අශ්වයින් පිට යාම කෙරුනේ නැහැ. ජයරත්නයි මායි ඇර හැමෝම ගියා. ජයරත්න නොගියේ වයසට ඔරොත්තු දෙන්නේ නැති වැඩ කරන්න බැහැ කියලයි. අපි දෙන්නා අශ්ව ගාල පැත්තෙන් උඩට පයින් ගිහින් කුඩා සත්තු වත්තකට ගියා. මුදල් ගෙවල ඇතුල් වුනේ. ජයරත්නගේ කරේ කැමරාව තිබුණ නිසා වැඩිපුර ඉන්දියානු රුපියල් පනහක් ගෙවන්න වුණා. එත් ඒකෙ ඇහැට දැක්කේ නම් එකම ගෝනෙක් විතරයි. තව මැරුණු සත්ව දේහ සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබා තිබුණු කටුගෙයක් බැලුවා. එතනින් එළියට ඇවිත් පාරවල් දිගේ ඇවිදලා ආයෙත්  අශ්ව ගාලට එනවිට අශ්ව පිටේ ගියපු අය ආවා. මෙතැනදී දුක හිතුණ දෙයක් වුණා. අර මං ගොතා ගෙන අරන් ගිය මෆ්ලර් එක මගේ කරෙන් බිම වැටිලා. ආපහු ගිය මග ගිහින් බැලුවත් හමු වුණේ නැහැ. ඒක දැන් තියෙන්නේ මගේ ඡායාරූප ගොඩේ විතරයි. ඒ ඡායා රූපය දාන්නම්කෝ .

"බුදු අම්මෝ ඔයා නොගිය එකමයි හොඳ ...අපි විලාප තියමින් ගියේ...පුදුම බයක් දැනුණේ " කියලා අන්තිම මොහොතේ අශ්වයකු පිටේ නැගගත් සුමනා ආපහු ඇවිත් කිව්වා. අශ්වයින් පිටේ යන අයට ත්‍රිල් එකක් දෙන්න මේ විදියට මාර්ගය වල ගොඩැලි සහිතව සකස් කර ඇති බවයි වැටහුණේ. ඇතැම් සංචාරකයෝ අසු පිටින් වැටිලා කොඳු කඩාගෙනත් තියෙනවලු. 


  Mall Road හා The Ridge හි දර්ශන






අපි ඉන් පස්සේ ගියා දිවා ආහාරය ගන්න. ආහාර අරන් මද විවේකයකින් පස්සේ නැවත ශිම්ලා වලට ඇවිත් එහි Mall Road , ඒ කියන්නේ ප්‍රධාන කඩ වීදියේ ඇවිදින්න ගියා. අපේ කට්ටිය අවශ්‍ය දේවල් මිලදී ගත්තා. අවසානයේ අපි ආවා The Ridge කියන ස්ථානයට, මෙය  පිහිටා තියෙන්නේ Mall Road වලට ඉහලින්. මෙය විවෘත ප්‍රදේශයක්. බ්‍රිතාන්‍ය යුගයේ තැනුණු ගොඩනැගිලි මෙහි තිබෙනවා. ඉන්දිරා ගාන්ධි ප්‍රතිමාවක් තිබෙනවා. මේ ස්ථානයේ රැස්වීම් ආදිය පවත්වන බව කුමාර් පැහැදිලි කලා. දේශීය හා විදේශීය සංචාරකයන් මෙහි විනෝදයෙන් කාලය ගෙවනවා පෙනුනා. මෙහි කාන්තාවන් ඉතා ලස්සනයි. සුන්දර විදියට ඇඳුම් පැළදුම් අඳිනවා.  අපි කට්ටිය මෙතැනට එකතු වුණා. අපේ කට්ටියේ හිටි කැමරා ශිල්පී පුතා චරිත් එයාගේ කැමරා උපකරණ උස්සන් එහේ මෙහේ දුවමින් හැන්දෑවේ කැමරාශිල්පීන්ගේ රන් පැයේ ප්‍රයෝජනය ගනිමින් ඡායාරුපකරණයේ  යෙදුණා. කෝපි එකක් එහෙම බීලා ආපසු හෝටලයට යන්න තමයි සුදානම් වුනේ. කෑමට මිදී,දොඩම්,ඇපල් ටිකක් ලාබෙට මිළට ගත්තා. චාරිකාවේ තවත් එක දවසක් මෙහෙම ගෙවිලා ගියා.



Saturday, February 2, 2019

චාරිකා සටහන් - Shimla- Manali 03


චාරිකා සටහන් - Shimla- Manali 03

අද එදා නැවතුන තැන ඉඳලා ...තාම ජනවාරි 17 වෙනිදා දිල්ලි ඉඳන් ශිම්ලා යන ගමන අතරමැද අපි ඉන්නේ. එක දිගට ගමන් විස්තරය කියවල ඔබට එපා වෙනවට දැන් මං අපේ ගමන් සගයන් කීප දෙනෙක් ගැන කියන්නම්. ධනංජය සමාගම වෙනුවෙන් අපි සමග ගියේ මනෝජ්. අපි ගැන හොඳින් සොයා බැලූ හොඳ දරුවෙක්. මගේ මිතුරිය සුමනා මිස්. කියන්න වැඩක් නැහැ නෙවෙයි කියන්න වචන නැහැ, ඈ ගැන. මුළු කණ්ඩායමම එක මිටට ග්‍රහණය කරගෙන, සින්දු කියමින්,නටමින් විනෝද සාගරයක ගිල්වන්න ඇයට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ විතරක් නෙවෙයි ඉන්දීය ඉතිහාය, භූගෝලය ඇතුළු කරුණු අතැඹුලක් සේ ඈ දන්නවා. තව රාගමින් ආපු ඈන් හා ඇගේ පුරුෂ රත්නය නෝමන් හරිම විනෝදකාමී සංචාරයට ලැදි යුවලක්.


Ambala ඉඳලා Chandigarh පැත්තට 45 km විතර ගියහම Panchkula දිස්ත්‍රික්කයට ලඟා වෙනවා. Punchkula වල ඒ නමින්ම සැලසුම් කල නගරයක් ද තිබෙනවා.    Kalka කියන්නේ Panchkula   වල තිබෙන නගරයක්. Panchkular වලින් 15 km ඉදිරියට ගියහම වම් පැත්තේ Pinjore උද්‍යානය හමුවෙනවා. අපි එහි ටික වෙලාවක් නතර වුණා.

මේ උද්‍යානය දැන් හඳුන්වන්නේ Yadavindra  උද්‍යානය කියලයි.  17 වන සියවසේ ඉඳි කරපු එකක්. මෙය පිහිටා තියෙන්නේ හරියානා ප්‍රාන්තයේ,Panchikula දිස්ත්‍රික්කයේ Pinjore නගරයේ. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව තමයි ඉඳි කරලා තියෙන්නේ. පසුව නවීකරණය වී තිබෙනවා. මේ උද්‍යානය මහල් 7කටයි නිමවා තිබෙන්නේ. ජල පොකුණු ,ජල උල්පත්ශා හා ශාක වර්ග රාශියක් මෙහි තිබෙනවා. ඒ වගේම මෙහි කුඩා සත්ව උද්‍යානයක්,ජපන් උද්‍යානයක් ,ඓතිහාසික ස්ථාන, පැල තවානක් හා දවස  විනෝදයෙන් ගත කල හැකි තැන් රාශියක් තිබෙනවා.පිටුවහල් කළ පාණ්ඩව සොහොයුරන් මෙහි නවාතැන් ගත් බව හින්දු ජන  කතා වල කියවෙනවා.

මෙහි අවුරුද්දේ ජුලි මාසයේ සිදුකරන Pinjore Mango Festival ඇතුළු උත්සව කිහිපයක් වසර පුරා විවිධ කාලවල සිදුකෙරෙනවා. රාත්‍රී කාලයට අලංකාර ලෙස පහන් දැල්වීම කරන බව අපේ මග පෙන්වන්නා කුමාර් පැහැදිලි කලා. අපි මෙහි ටික වෙලාවක් ගත කරලා ඡායා රූප කිහිපයක් ද ගත්තා.

ඉන්පස්සේ Pinjore සිට නැවත ගමන් ආරම්භ කළා. ධාවන දුර 90km විතර. නමුත් කඳුකර අධික වංගු සහිත මාර්ග නිසා බස් රථය යන්නේ සීමිත වේගයකින්. ගියා ,ගියා ,ගියා ...රැ අට විතර වෙද්දී අපි හෝටලය වෙත ලඟා වුණා. හෝටලයේ නම Royal Regency. හෝටලය තියෙන්නේ ශිම්ලා නගරයෙන් ටිකක් ඈත . Dhalli Bypass, Sanjauli, Shimla  ප්‍රදේශයේ කන්දක් උඩ තියෙන්නේ. කන්ද නැගලා යන්න වුණේ පයින්. හරිම හති මහන්සි දැනුණා, බය හිතෙන තරමට. අනික මුහුදු මට්ටමෙන් හුගක් උඩ නිසාත් හුස්ම ගැනීමේ බර ගතියක් දැනුණා. අපේ ගමන් මලු නම් shuttle service එකකින් උඩට ගෙනාවා. ඔක්කොටෝම වැඩිය අපේ සිත් වසඟ කළ දෙය නම් හෝටලයට යන පාර දෙපස ගොඩ ගසා තිබුණු හිම ගොඩවල්. හිම බලන්නමනේ මේ ගමන ආවේ. Hethro ගුවන් තොටු පලට ගොඩබාන වෙලාවෙදිත්  එක්සත්  ජනපදයේදීත් හිම දැක්කේ  ඇතින් විතරයි. ඉතින් මේ හිම අපි සතුටට පත් කළා. නමුත් ශීතල හම, මස් ඇට තුළින් ඇට මිදුළු වලටම කා වදින තරම් තිබුණා. රාත්‍රී ආහාරයෙන් පසු සතුටු සාමීචියේ යෙදිලා අපි නින්දට වැටුනා. පසුදා කළ ශිම්ලා චාරිකාව ඊ ළග පියවරෙන් .......


(Photo of Hotel from internet)