Sunday, June 26, 2022

තනේ ගැන නොදන්නා බණේ





 





තනේ ගැන නොදන්නා බණේ

තන ගැන කතා බහ හැම තැන ඇසෙන සමයේ ඒ ගැන විස්තර ටිකක් ලියන්නයි හිතුනේ.
තන හෙවත් පියයුරු ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම හිමි ශරීරාංගයකි. යුගල වශයෙන් ඇති පියයුරු පුරුෂයන්ගේ විශාලව නොවැඩෙන අතර ස්ත්‍රී පියයුරු ළදරුවන් මව්කිරි වලින් පෝෂණය කිරීමේ මූලික කෘත්‍ය සඳහා ග්‍රන්ථීමය අවයවයක් ලෙස විශාලව වර්ධනය වේ. එහි කුඩා අනු කණ්ඩිකා ( lobules) රැසකින් නිර්මිත කණ්ඩිකා (lobes) 15 - 20 දක්වා නිශ්චිත සංඛ්‍යාවක් ඇත. ඒවායේ සිට විහිද එන ක්ෂීර නාලිකා එකතුවී තන පුඩුවට විවෘත වේ. පියයුරුවල ලොකු කුඩා බව හුඟක් හුවා දැක්වෙන නමුත් ඒ ඛණ්ඩිකා සංඛ්‍යාව අඩු වැඩි නැත. ලොකු කුඩා බවට හේතුව තැන්පත් මේද ප්‍රමාණයයි.
ස්වභාවික හැම දේම වෙනස් කර ගැනීම එතරම් අමාරු නොවෙන මේ වකවානුවේ පියයුරු ද ඒ විපර්යාසයට ලක්නොවීමට හේතුවක් නැත.
මේ ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙනු මවගේ කිරි වලිනුත් යයි ගෝර්කි පවසා තිබේ. ඔව්! ලොව ඇති එකම සර්ව සම්පූර්ණ ආහාරය මව් කිරිය. ළදරුවකුට මාස හයක් දක්වා එකම ආහාරය එයම පමණි. ඒ නිසා පියයුරු අද්විතීය අවයවයකි.
දරු උපතින් පසු කිරි එරීම හෝමෝන මගින් පාලනය වන ක්‍රියාවලියකි. ප්‍රෝලැක්ටින් හෝමෝනය කිරි නිෂ්පාදනය සඳහා ක්‍රියා කරන අතර ඔක්සිටොසින් හෝමෝනය කිරි නිකුත් කිරීම සිදු කරයි. දරුවා කිරි උරා බීමේදී තන පුඩුව අවට සෛලවල ඇති වන ස්නායු සංවේදන මොළයට ගමන් කිරීම ද හෝමෝන ක්‍රියාකාරිත්වය ඇති වීම සඳහා අත්‍යවශ්‍ය වේ.
පියයුරු ස්ත්‍රී රූප සොබාව කුළුගන්වන ප්‍රධාන අවයවයක් පමණක් නොව පිරිමින්ගේ අවධානයට ද නිතැතින්ම ලක්වේ. ඒ ගැන වර්ණනා කෙරෙන සාහිත්‍යාංග බොහෝය. 'නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන' යනුවෙන් රාහුල හාමුදුරුවන් ද ලියා ඇත්තේ එබැවිනි.
එමෙන්ම ස්ත්‍රීන් ගේ ලිංගික උත්තේජනය ඇති කිරීමේ ලා පියයුරු ස්පර්ශය වැදගත් කාර්යයක් ඉටු කරයි. එපමණක් නොව ඔක්සිටොසින් රුධිරයට ශ්‍රාවය කර ප්‍රසව වේදනා ආරම්භ කිරීමට ද පියයුරු උත්තේජනය වැදගත් වේ.
කෙසේ වෙතත් ලොව කොතැනක හෝ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම යම් ශරීරාංගයක අඩු පාඩුවක් හෝ යම් ශරීරාංගයක් උළුප්පා දක්වා එය හිමි තැනැත්තා /තැනැත්තිය අවමානයට පත් කිරීම හෙළා දකිමි. පියයුරු වලටත් එය අදාළය.
Photo from Pexel

Thursday, June 23, 2022

අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා







 





අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා

පෙර දිග ලෝකයේ බැබලුණ මුතු ඇටය
තිබුණා කලක් එහි අප කදිමට හිටිය
හොඳටම කරන්නට නිරිඳෙකු ආ හැටිය
රට ගොඩ ගන්න බැරි ලෙස වලකට වැටිය
සිවු වසරක් ගෙවී වසරක් ලබන විට
රජ උණ හැදෙන්නට විය එරට දන හට
පරසක්වලින් ගෙන්වා ගත්ත එකෙකුට
පුම්බා හුලං උඩ ඇරිය හැටි කදිමට
පිම්බූ රූප තුරුලට අරන් ඉඹ ගෙන
හමුවූ විටදි තෙරපී අත බදාගෙන
රට බේරා දෙන්න කියමින් අඞා ගෙන
සුකොමළ ළන්දු පෙරමග දිග ඇදී ගෙන
කවදත් රටේ ගො/න් ජනයා ගැන දන්නා
උන් රිසි පරිදි ඇද බාමින් ගජ බින්නා
අවුරුදු හැත්ත ගණනක් කරකවමින්නා
කියපු දේම ආයෙත් රස කර පෙන්නා
'බලය මට දෙන්න රැක දෙන්න පුරවර
මගෙම රජයකුත් මට ඕන මේ වර
තුනෙන් දෙක තමයි දැන් අඩුව ඇති බර
විස්ස තිබුණොතින් මවමි මං සුරපුර'
උගුර කඩාගෙන වියතුන් කෑ ගෑවා
කියපු දේට රට වැසියන් මත් වූවා
මෙහෙම කියා උන් හැම බලයට ආවා
රට වැසියන්ට උන් හිටි තැන් නැති වූවා
වසර දෙකක් ගිය තැන ඒ මහවිරුවා
වෙන කවුරුත් නෙවේ මං හොඳටම කෙරුවා
කියමින් අලුත් යුගයට පියමං කෙරුවා
වැසියන් ටිකෙන් ටික ගෙන මහමග මැරුවා
පඹයෙකු වගේ වෙලකට සකුණ එළවන
වැනි වැනි වැරදි දැන දැන අරන් තීරණ
මට වැරදුනා කියමින් අඞන කාරණ
අසමින් තවම ඇත දන කිළුටු සෝදන
දවුලක් බැඳන් රට තොට අඞහැර පෑවා
හවුලක් හදන් හොඳ හැටියට රඟ පෑවා
නගුලක් නැතුව මුන් හැම කදිමට හෑවා
අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා
(Thanks to Marvin Meyer for the photo on Unsplash)

Sunday, June 19, 2022

කුසගිනි නිවීම

 












කුසගිනි නිවීම

අපි අඞන විට
අල්ලපු වත්තේ කොස් ගහට නැග
ළපටි කොස් ගෙඩියක් කඩාගෙන
පොල් දමා මලවා කන්නට දී
අපේ කුසගිනි නිවූ අම්මා නුඹය.
දානෙ ගෙදර ඉතුරු බත් එකතු කර
ගෙනත් කුල්ලේ දමා
අව්වේ හොඳට වියලා
මුට්ටියක දමා අටුවේ තබා
ටික ටික ගෙන නැවත උයා
පොල් සම්බෝල සමග
කන්නට දී අපේ කුසගිනි නිවූ
අම්මා නුඔය.
අපේ හිස් බඩවල් දැක දැක
අපට නොපෙනෙන්න රහසේ ඇඞූ
යනෙන මග දෙපස ගස්වල
කනේරු ඇට ඇති තරම් දුටුවත්
නුදුටුවාසේ ඉඳ ඒ දුක් ඉහිලූ
අම්මා නුඔය.
නුඹ කියාදුන් මග ගියෙන් මම
මට දැන් තිබේ බත්
බඩ පුරා කන්නට
ඒත් බැරිය නුඹට දෙන්නට.
නුඹ නිදන පස යහන උඩින් ඇති
නිල් තණකොළ පලස මත
සුදු සමන් මල් පොකුරක් තබා
නෙත නැගුණු කඳුල අතගා පිසදා
හාමතින් සිටි දරු පැටවු එකතු කර
බත් ටිකක් උයා දුනිමි මම
එවිට උන්ගේ නෙතේ ඇඳී ගිය
කාන්තිය අයිති මට නෙමේ නුඹට
එවමි එය පාකර මද පවනක
නුඹ සිටින යහනට
අම්මේ එය අයිති මට නෙවේ නුඹට!!!
Photo from Unsplash

Friday, June 3, 2022

මල් පරවී ගියා

 










මල් පරවී ගියා 

 

සීතල හිම දියවී කාලය

ඔහේ පියා සැලුවා

වසන්තයේ ඇරඹුමේ සිට 

මා දෑස් දල්වා මග බලා සිටියා

 

බලපොරොත්තුවේ  පහන් සිල

බඳුනේ අවසන් තෙල් බිංදුව උරාගෙන

වෙව්ලමින් මද සුළගේ පොර බදමින්

ඔන්න මෙන්න නිවෙන්නට යන මොහොතේ

 

වසන්තයේ අග ඈ ආවා

 

ඈ මා වෙත මල් පොකුරක් පිදුවා

ඇගේ රන් වළලු ලූ සිහින් දෑත්

මගේ ගෙලවට මොහොතකට වෙලුණා

අවසන් චුම්බනය මා ඇගේ නළලත තැබුවා.

 

ඈ සමුගෙන යන්නම යන්න ගියා

ඇගේ නිවහල් ලොව කරා යන්න ගියා 

ඕනෑවට එපාවට මා අතට ගත් ඒ මල්

මේසය මත කඳුළු සලමින් හිටියා

 

මල් එකින් එක අතට ගන්නට මට සිතුණා

අරන් ඒවායේ සොඳුරු බව සෙව්වා

රතු රෝස වල ඩේලියා වල වෙන වෙනම

අමුතු වෙනදා නොදුටු සුන්දරත්වයක් තිබුණා

 

ඒත් ඒ වනවිට කාලය අතීතයට

ඈතට ඈතට ගිහින් ඉවර වී තිබුණා

මල් එකින් එක පරවී ගියා

මං බලන් හිටියා බලන් හිටියා

ඈ මට දුන් මල්වල සොඳුරු බව

ඈ හා සැනසිල්ලේ දොඩන්නට

ඒත් කවදාවත් ඈ ආපසු ආවේ නෑ!!!

 

Tuesday, May 24, 2022

වසන්තයේ අග

 












මේ ගත වෙන්නේ වසන්තයේ අග භාගය. දැනටමත් ගහ කොළ මැලවෙන ඒ උණුසුම් ගිම්හානය එළිපත්තෙන් එබෙනවා. දිවා අහස නිල්ම නිල් පාටයි.  වළාකුලක් දකින්නේ කලාතුරකින්.  ගහ කොළ සේරම කොළ පාටයි.  පහුගියදා ලස්සනට පිපී හිනැහුණු රෝස මල් පර වෙලා.  හිතට ගෙන එන්නේ ශෝකී බවක්.  ඒත් යළිත් එන වසන්තය ගැන බලාපොරොත්තුව අපි ජීවත් කරවනවා.  අද උදේ මම ඇවිදින්න ගියා "වසන්තයේ මල් පොකුරු නෙලා ...." අමරදේවයන් සනාතන දහමක් ගැන ගයන ඒ මියුරු ගීතය ශ්‍රවණය කරමින්.  මේ African Lily නම් හිනාවේගෙන හිටියා උදේ හිරුරැස් නා ගන්න ගමන්. African Lily වලට Lily of the Nyle කියලත් කියනවා. විද්‍යාත්මක නම Agapanthus africanus.  Amaryllis පවුලට තමයි අයිති වෙන්නේ. හිරු එළිය ප්‍රිය කරන පඳුරක පිපෙනවා. මේ දවස්වල දවල් වෙද්දී හරිම උණුසුම්.  හැබැයි ලංකාවේ වගේ දහඩිය දාන්නේ නැහැ.  

Saturday, April 30, 2022

තරු පොකුරු වලාකුළු යට

 












තරු පොකුරු වලාකුළු යට

තරු පොකුරු වලාකුළු යට
විහිද තිබුණත් ආලෝක වසර
ගණනාවක් දුරකට
පෙනෙන්නේ එක පොදියට
දිලෙන්නේ එක විදියට
ඒත් විමසිල්ලෙන් ඉන්න
රහස් තියෙන්න පුළුවන් බෝම
බලය කැරෙන්නේ
තරු එළවන්න ඈතට...
ඒත් බැඳී ඉන්න එක පොකුරට
ලිහුණොත් ඇදී යාවි
තෙරක් නොපෙනෙන
කළු කුහර පතුළකට

Tuesday, April 19, 2022

ලෙයින් පෙඟුණු

 












ලෙයින් පෙඟුණු 

මේ බිමට තවත් 

උරාගන්නට 

දෙයක් නැත

මේ නාටකය  

ඇති දැන් හොඳටම 

කළා දැන් කාලය 

හොඳටම හොඳයි 

වේදිකාවෙන් 

බැස යන්නට 

Thanks to Alexandre Boucey  for the image on Unsplash



Tuesday, April 5, 2022

පෙරට යමු! ඔබට ජය!

 


පෙරට යමු! ඔබට ජය!












මේ ටික ළඟදි වෙන බව නැති බව වාද
කතිරෙට කලින් අපි කොපමණ කිව්වා ද
ඒවා ඇසූ ඔබ කොතරම් රැව්වා ද
සාටක බදන් පා කොතරම් ලෙව්වා ද

මෙයා විතර කෙනෙකුත් තව ලොවේ නැත
කියා ඉනාවට රැවටී දෙමින් අත
විරුවෙකු ගෙනත් විරවා ගෙන නැතුව බත
දැන් දැන් වැඩි දෙනෙක් කතිරෙත් ගසා නැත!

නැගිටීමක් දුටුව තැන එහි දොස් දුටුවා
මුන්ට තෙලේ නැගලද ඉන්නට බැරුවා
අද තම තමන් පාමුල එය අත් දුටුවා
මේවා ලියවුනත් තරහක් නම් නැතුවා
සිංහල දෙමළ මුස්ලිම් තව තව බේද
බඩගිනි ළඟදි කිසි වෙනසක් නෑ නේද
මේ ටික තේරුණොත් දැන්වත් ඇති නේද
යමු යමු පෙරට ළඟ එනු ඇත ජය නාද

Friday, March 25, 2022

ඕක් ගස




 


ඕක් ගස


Fagaceae ශාක කුලයට අයත් Quercus ගණයේ විශේෂ 450 කට පමණ පොදුවේ කියන නමක් තමයි ඕක්. මේවායින් 58ක් උතුරු ඇමරිකාවට ආවේණිකයි. අලංකාරයට වවන ශාක, දැව ශාක, හා පඳුරු මේ ඕක් විශේෂ අතර තිබෙනවා. මේවා උතුරු මධ්‍යධරණී කලාපයේ හා නිවර්තන කලාපයේ ඉහළ උන්නතාංශ වල වැවෙනවා. ඕක් ශාක සදාහරිත හෝ පතනශීලී පත්‍ර දරනවා. මේ පත්‍ර ඇඟිලි වැනි බෙදුම් සහිතයි. පත්‍ර දාර දැති සහිතව හෝ සම්පුර්ණව පවතිනවා. ඕක් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. රතු ඕක් හා සුදු ඕක් අනුවෙන්. රතු ඕක් වල පත්‍ර ඛණ්ඩ තුඩු සහිතයි. සුදු ඕක් වල රවුම්.
ඕක් මල් නම් ලස්සන නැහැ. පත්‍ර හැලුණු කාලවල හෝ පත්‍ර සහිත විට පිපෙන පිරිමි මල් කහපාට සිහින් නටු වැනි කොටස් වල පහළට එල්ලෙමින් පවතිනවා. මේවා Oak catkin කියල හඳුන්වනවා. ගැහැණු මල් ද එකම ශාකයේම වෙනම හටගන්නවා. ඒවා මල් එකක්,දෙකක් හෝ වැඩි ගණනක් සහිත එකාක්ෂ ලෙස හැදෙනවා. ගැහැණු මල් වලින් Acorns නමින් හඳුන්වන විශේෂ ඵලය හට ගන්නවා. මේවා සත්ව ආහාර සඳහා ගන්නවා.
                                                           ඕක් පිරිමි මල් Oak catkin 
                                                 ඕක් ගෙඩි Acorns (This photo is from Pexel)



වනාන්තර වලදී ඕක් ශාක මුල්ගල් විශේෂ (Keystone species) වශයෙන් වැදගත් පරිසර විද්‍යාත්මක කෘත්‍යයක් ඉටු කරනවා. සත්ව වාසස්ථාන හා ආහාරමය වශයෙන් මේ ශාකය ඉටුකරන මෙහෙය අමිලයි. ඕක් ශක් මිනිසාට බොහෝ ප්‍රයෝජන අත්කර දෙනවා. ඕක් දැවය ඉතා වටිනා එකක්. එය ගොඩනැගිලි නිර්මාණයේදී හා ගෘහ භාණ්ඩ නිපදවීමට ගන්නවා. මේ හැර අලංකාරය හා සෙවන සඳහා ඕක් වවනවා. ලොකු ඕක් ගසක් අඩි 30ක් පමණ උසට වැඩෙන අතර ඒ වටා විශාල වපසරියකට සෙවන දෙනවා. ඒ නිසා නගර අලංකරණයේදී මේ ශාකයට වැදගත් තැනක් හිමි වෙනවා. ඔබ සැම පොරොප්ප ඇබ ගැන දන්නවා ඇති. ඒවා හදන්නේ කෝක් ඕක් (Quercus suber ) ගහේ ඝනකම් වල්කයෙන්. 

                                                
රොබට් හූක් අන්වීක්ෂයෙන් බැලුවෙත් ඒ අනුව සෛලය කියල ඒ බලපු කාමර වැනි ව්‍යුහ වලට cell කියන නම දුන්නෙත් මෙන්න මේ වල්කය තමයි. 
මම කැලිෆෝර්නියාවේ දී ලබා ගත් පහත ඇති ඡායාරූපවල ලොකු කළු පාට ගෙඩි වගේ තියෙන දේ බලන්න. ඒ ඕක් ගෙඩි නෙවෙයි. ඒවා ගසේ අතු හා පත්‍ර මත හැදෙන Oak galls ලෙස හඳුන්වන අසාමාන්‍ය වර්ධන. ඒවා හට ගැනීමට හේතුව Oak සලබයා නම් කෘමියෙකුගේ අසාදනය. මෙතෙක් දවස් ශීත ඍතුවේ කූරු හා මේ අසාමාන්‍ය වර්ධන විතරක් තිබුණු ගස්වල දැන් වසන්තය එළඹීමත් සමග දළු දමා ලස්සන වෙමින් තිබෙනවා.
                                                         Oak galls


Sunday, March 20, 2022

මේපල් ගස


 මේපල් ගස

මේපල් ගස ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. අඩු තරමින් මේපල් කොළය ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒ එය කැනඩාවේ ජාතික ධජයේ සංකේතය නිසා. එහි රතු පැහැයෙන් බලාපොරොත්තුව, සශ්‍රීක භාවය, ශාන්තභාවය හා මධ්‍යස්ථභාවය සංකේතවත් කරන බවත් රටාවෙන් සංස්කෘතික උරුමය හා ස්වාභාවික සම්පත් නිරූපණය වන බවත් කියනවා.
මේපල් කියන්නේ ඇත්තෙන්ම Acer ගණයට අයත් විශේෂ දළ වශයෙන් 125 ක් පමණ අයත් ශාක වලට කියන පොදු නමක්. බොහෝ විශේෂ ගස් මීටර් 10-40 දක්වා උස ගස් වශයෙන් හැදෙනවා. ඇතැම් ඒවා එතරම් උසක් නැති පඳුරු ලෙස වැවෙනවා. මේවා බොහොමයක් ආසියානු කලාපය නිජබිම කරගෙන ඇති අතර සමහර ඒවා යුරෝපය උතුරු අප්‍රිකාව හා උතරු ඇමරිකාව ආශ්‍රිතව දකින්න පුළුවන්. බොහෝ විශේෂ පතන ශීලී වන අතර කිහිපයක් සදාහරිත වෙනවා.
මේපල් මල් කුඩායි. ඒවා ශීත ඍතුව අග හෝ වසන්තයේ එළිපත්තේදී පිපෙනවා. ඇතැම් ගස්වල මල් පිපෙන්නේ පත්‍ර හැලීමටත් පෙර. සමාරාවක් වන මේපල් ඵලය 'හෙලිකොප්ටර්' 'මේපල් කී' ආදී නම් වලින් හැඳින්වෙනවා. රූපවල මේපල් ගස් ශරත් සමයේ තිබූ ආකාරය, මල් හා ඵල දක්වා තිබෙනවා.














Monday, March 14, 2022

ආපස්සට යාම








ආපස්සට යාම 

 

පාන් ගෙඩිය සත විසිපහට අරගෙන

කුප්පි ලාම්පුවෙ එළියෙන් බලාගෙන  

හොද්දක් දර ලිපේ හැඳිගා හදා ගෙන  

පෙත්තක් ගිල දැමූ කාලය නැවත එන 


හැබයි පාන් ගෙඩියේ මිළ අහසටය 

භූමී තෙල් ටිකට දිගු පෝලිම් වලය 

දර ටික හිඟයි නේ  දැන් නැහැ නොව කැලය

පනින්නට වෙන්නෙ දල්වා ගිනි මැලය 


තිරික්කලේ මඩුවෙන් නැවත අරගෙන 

කැඩුණු බිඳුණු තැන් පිරියම් යොදාගෙන 

නාකි ගොනා අරගෙන ගැට ගසා ගෙන 

හයි වේ එකේ යමු ගොනුකුර ගෙවා ගෙන  


කාලය අනික් පැත්තට යන කතාවල 

අතීතයට  ගොස්  එහි සැරිසරන කල 

මේ බොරු මෙහෙම වෙනවද පෑ සිනාවල

සාපය වැදී වාගෙයි එයම වෙන කල  


 Thanks  Laura Ockel for the image on Unsplash


 

 

Thursday, March 10, 2022

මල්

 










මල්

නාලිනී එන්න බලන්නට පිපීලා ලා දැයි මල්
පිණි වැටී තිබේ යයි කියා තිබුණා කිනිති මත මල්
හෝඩි පොත තවම මිහිරි මතකයකි සිහිලැල්
එහි අකුරු මැකී ගොස් දැන් බොහෝ කල්

එහෙ කැලේ ගාල්වල ඔහෙ ඇදී යන වැල්
මෙහි හිනැහුණා, වටින බඳුන්වල ලකල්
ගසාගෙන ඩොලර් ගණනින් ලේබල්
බලා සිටියේ නම් හනික විකිණෙන කල්

මල් මල් කීවාට මේ නොවේ වන මල්
ඇවිළෙන මොහොතක වුවද යුද ගිනි දැල්
වසන්තය එනමග බලා කල්යල්
පිපී තිබුණා එය දසුනකිය මනකල්

Tuesday, February 22, 2022

මැයි ගස

 




මැයි ගස 


රතු පාට මන බඳින මල් සැරසිල්ල 

නිසි කලට තුරු හිසේ පැළදිල්ල  

මැයි මස මතක් කර මල්  පිපෙන ගසයි එය  

මහමග,උයන්වතු වල  සෙවන ගෙන දෙන 


මං හිතෙන් ඈත  අතීතෙට ගියා 

මැයි මල් එදත්  හිනැහී හිටියා 

මල් ගැන විස්තර  මෙහෙමයි කියා  

පොතේ  පාඩම  මේ ලෙස තිබුණා ලියා  


රනිල කුලයේ උප කුලකයකි 

සේසල්පිනොයිඩියා 

මල් පෙති පහකි, රේණු දහයකි 

එහි නම ඩිලොනික්ස් රෙජියා 


රතට රතේ හිනැහුණත් මල් තවම 

මග දෙපස,උයන් වතුවල  හැම තැන 

ඒ සොඳුරු මැයි ගස හිතේ ඇඳුන 

අනේ දැන් දකින්නට නැහැ එතැන !


Thanks to Luis Felipe Lins for the photo on Unsplash