Saturday, May 25, 2019

ආගමික ඉගැන්වීම් වලින් තොරව මිනිසා හික්මවන්න බැරිද ?

ආගමික ඉගැන්වීම් වලින් තොරව මිනිසා හික්මවන්න බැරිද ?

ආගම් නිසා ලෝකයට වෙලා තියෙන්නේ හොඳට වඩා නරක කියලයි මට කලක පටන්ම  හිතුනේ. ඒ සිතුවිල්ල පසුගිය සිදුවීම් වලින් තවත් තහවුරු වෙනවා. නිදහස්ව පළමු හුස්ම අරන් උපදින මිනිස් ප්‍රාණියා ආගමක සදාකාලික හිරකාරයෙක් කරන්නේ ඇයි ? එය ඇත්තෙන්ම උපතත් එක්ක ජීවිතාන්තය දක්වා  දඬුවමක් දුන්නා වගේ වැඩක්.

ආගමක් කියන්නේ මොකක්ද ? Oxford Dictionary defines religion as the belief in and worship of a superhuman controlling power, especially a personal God or gods. මිනිසා අභිබවා ගිය පාලන බලයක් ඇති දෙවියෙක් /දෙවියන් පිලිබඳ විශ්වාසය හා නමස්කාර කිරීම ලෙස ආගම යන්න අර්ථ ගැන්වෙනවා. සැබවින්ම ලෝකයේ එවන් දෙවි කෙනෙක් හෝ ලොව පාලනය කරන බලවේගයක් තියෙනවා ද ?

ශාස්තෘ වරයෙක් යම් දෙයක් දේශනා කලාට පස්සේ ඒක කැමති පරිදි වෙනස් කරලා වහළයට දාගෙන ආගම කියන කණු මත තියල තම තමන් යැපෙන්න පූජකයන් හදාගත් සංස්ථාවක්ය ආගම කියන්නේ කියල මං කියවල තියෙන බව මතකයි.

බුද්ධාගම ලෙස ආගමක් ගැන කියවුණත් මේ අර්ථ දැක්වීම අනුව බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් ගැලපෙන්නේ නැත්තේ එහි මැවුම්කාර දෙවියෙක් පිළිගන්නේ නැති නිසා. එහි නිර්මාතෘ වන බුදුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා. 'මහණෙනි, මා උගන්වන්නේ කරුණු දෙකක් පමණයි. එනම් විඳීම් වල ස්වභාවය හා විඳීම් නැති කිරීම ගැනයි.' වෙනත් විදියකට කිව්වොත් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
මේ දර්ශනය තුළ යමක් ඇතිවීමේ හා නැති වීමේ හේතු ඵල ධර්මය පැහැදිළි කර තිබෙනවා. මේ තත්වයන් සත්‍ය වන්නේ පුනර්භවය සත්‍ය කාරණයක් බව පිළි ගැනීම තුලයි. විඳීමේ විපාක අපි ජීවිතය තුළ අත්දකින නමුත් මරණින් මතු ජීවිතය ගැන අත්දැකීම් අපි කිසිවෙකුට ලබන්න බැහැ. මේ ගැන බොහෝ පර්යේෂණ අධ්‍යන බටහිර පවා කර ඇති නමුත් අවසන් නිගමනයක් කෙදිනක ලැබේදැයි කියන්න පුළුවන් කමක් නැහැ.

සෑම ආගමක්ම හැදෙන්න හේතුව, මිනිස් සන්තානය තුළ ලැගුම් ගත් මරණය හා දුක් විඳීමට ඇති බිය මත ආදී කල්පික ගෝත්‍රික මිනිසා තුළ ගැබ්වූ සිතුවිලි මත පදනම්වූ ඇදහිලි පසුබිම් වෙලා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම කල්පනා කරන්න, හිතන්න, ලියන්න ඉඩ කඩ තියෙන්න ඇත්තේ කෑම,බීම ,ඉඳුම් හිටුම් වැනි මුලික අවශ්‍යතා සොයන්න පරසරය හා ඔට්ටු වෙමින් කටුක ජීවිතයක් ගත කල සාමාන්‍ය ජනතාව වෙන්න බැහැ. ඒවායින් සංතෘප්ත වූ ඉහළින් වැජඹුණු ජන කොටසක්. ඔවුන් තමන් විඳින සැප සම්පත් මේ ජීවිතයට සීමා වෙනවට කැමති වුණේ නැහැ.

ඒ නිසා දෙවියන්ගේ තුරුළට ගොස් වඩා හොඳ ජීවිතයක් ගත කරන්න හෝ දෙව් ලොව ඉපදී හෝ වෙනත් හොඳ ආත්මයක ඉපදී සැප සම්පත් තවත් දීර්ඝ කාලයක් භුක්ති විඳින්න හිතන්න ඇති. ඒ වගේම තමන්ට අවශ්‍ය සම්පත් ලබාගන්න පොදු ජනතාව රැවටීමේ උපක්‍රමයක් ලෙසත් මේ මරණින් මතු ලැබෙන  සැපවත් ලොව පිලිබඳ සංකල්පය යොදා ගත්තා. ඒ තමයි එදා සිට අද දක්වා කෙරෙන ආගම දේශපාලනය සඳහා යොදා ගැනීම.  පාලකයන් ඇතුළු හොඳින් හෝ නරකින් වස්තුව උපයා ගත් වරප්‍රසාද ලත් පිරිසක් තමන්ට  යටත්ව ඉන්නා පීඩිත ජනතාවට ඔවුන් දුප්පත්ව මේ ලෝකයේ ඉපදී ඇත්තේ පෙර කරන ලද අකුසල කර්ම නිසා බව ඒත්තු ගන්වමින් ඔවුන්ට ලබන ආත්මයේ ධනවත්ව ඉපදී සැප විඳීමට අවශ්‍ය නම් දාන මාන ආදී  කුසල් වඩ වඩාත් රැස් කරන්න ඕනෑ බව කියනවා. එක යතිවරයෙක් දේශනා කර තිබුණා තම සැමියා බිරිඳට ගහනවා නම් අඩන්තේට්ටම් කරනවා නම් ඒ තමන් ලබා උපන් හැටි බව සිතා ඒ සියල්ල ඉවසා සිටිය යුතු බව.

බෞද්ධයා කෙලෙස් දුරු කර, නැවත ඉපදීම නැතිකරන අජරාමර නිවන අවසාන අරමුණ ලෙස ගත්තත් බොහෝ නාමික බෞද්ධයන් ඇත්තටම එය තේරුම් අරන් ඉන්නවා කියල මං හිතන්නේ නැහැ. පුනර්භවයේ දී ඇතිවන පුද්ගලයා මේ භවයේ සිටි පුද්ගලයා වත් වෙන කෙනෙකු වත් නොවන බව හා අනාත්ම බව පැහැදිළි කර තිබුණත් එකම නූලක් වගේ තමන්ම භවයේ ගමන් කරන බව තමයි මිනිස්සු හිතන්නේ. ඒ නිසානේ එන ආත්මයේ කුඩල්ලකු වුනත් කොට්ටයක් පතන්නේ. එය හින්දු ධර්මයේ එන සදාකාලික ආත්මය පිළිගැනීමට සමාන තත්වයකි. ස්ථිර සාර 'මම' යන්නක් නැති බවත් එය මොහොතක් පාසා වෙනස් වෙන බවත් පැහැදිලිවම බෞද්ධ දර්ශනයේ තිබියදීත් මේ නාමික බෞද්ධයෝ 'මම' බදා ගනිමින් එහිම ගිලී ජීවත් වෙනවා.

ඉතින් ආගම් ගැන කිව්වා ඇති. මේ හැම එකකම යම් භීතියක් පදනම් කර ගෙන තමයි මිනිහා යහමගට ගන්න බලන්නේ. පව් කළොත් අපායේ දුක් විඳින්න වෙනවා කියන එක. 'පව්' කියන එක ආගම අනුව වෙනස් වෙනවා. ඇතැම් ආගම් වලට අනුව සතුන් මවල තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න. ඒ නිසා සතුන් මැරීම පවක් වෙන්නේ නැහැ.

උඩඟු බව,කෑදරකම, ඊර්ෂ්‍යාව, උදහස,වගේ දේවල් බයිබලයේ පව් ලෙස සැලකෙනවා. ඉස්ලාමයේත් පව් ගණනාවක් දක්වා තිබෙනවා . දෙමාපියන්ට ගරු නොකිරීම හා අකීකරු වීම, අනාථයන්ගේ දේ පර්භෝජනයට ගැනීම, හේතුවක් නැතිව මිනී මැරීම, අල්ලා හෝ  ඔහුගේ පණිවිඩකරුවන් ගැන බොරු කීම, දිනපතා යාඥාවන් නොකිරීම එයින් කිහිපයකි.

සෑම ආගමක් තුලම විශ්වාස කල නොහැකි පාරභෞතික දේ උගන්වනවා. මේවා යථාර්තයෙන් හුඟාක් ඈත් වූ දේවල්. මේවා කතන්දර වශයෙන් හොඳයි. වින්දනයක් ලබන්න පුළුවන්. නමුත් සැබෑ ජීවිතයට ඇති වැඩක් නැහැ.

ඒ ඒ ආගම් වලට අනුව පව් කිරීමෙන් දෙවියන් වහන්සේ වෙත යන්න බැරිවෙනවා. රහසින් කරන දෙයක් වුනත් දෙවියන් වහන්සේ දකිනවා යනුවෙන් භීතිය ඇති කරනවා. බෞද්ධයාට අනුව පව් කිරීමෙන් නරක කර්ම සිදුවී, මේ අත්භවය තුළ හෝ මතු අත්භවයක දී ඒවා පළ දෙනවා. මේ විදියට යම් භීතියක් මරණින් මතු තත්වය ගැන ඇති කිරීම නිසා මිනිසා යහ මගට පැමිණවීමට බලනවා. දරුවන් බයට පත් කරනවා 'ඔයා  ඔය වැඩේ කළොත් අපායේ යාවි ' කියලා. සතෙක් මරන්න හදන දරුවෙකුට අපි එහෙම කියනවා.

ඉතින් මේකට වෙන ක්‍රමයක් නැද්ද ? තියෙනවා.

ආගමක් මත දරුවෙක් හික්මවන්න මවක් හෝ පියෙක්  මෙහෙම කියනවා ' මේ විදියට නරකට ඔයා හැසිරෙයි කියල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ.' ඊට වඩා නරකද ඒ දෙමව්පියන් මෙහෙම කියන එක ' ' මේ විදියට නරකට ඔයා හැසිරෙයි කියල අපි බලාපොරොත්තු වෙන්නේ  නැහැ.' දරුවා තුළ දෙමව්පිය ගුරුවරු කෙරෙහි විශ්වාසය ඇති කිරීමෙන් නොපෙනෙන බලවේගයකට දරුවා හික්මවීම බාර නොදීමෙන් දරුවාගේ පෞරුෂ වර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කෙරෙනවා. 

සතුන් මැරීම හා ඔවුන්ට හිංසා කිරීම වැළැක්වීම ගැන ඉහත නිදසුනම ගත්තොත් , සෑම ජීවිතයක්ම වටින බව කියා දීමෙන්, තමන්ට රිදෙන විදියට අනිත් සතාට හෝ පුද්ගලයාටත් රිදෙන බව තේරුම් කර දීමෙන්   දරුවා තුළ සංවේදීබව(Empathy) වර්ධනය කරන්න පුළුවන්. .

ඇත්තෙන්ම මෙයම මේ විදියට බෞද්ධ ඉගැන්වීම් වලත් තියෙනවා.

සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස...
සබ්බේසං ජීවිතං පියං...
අත්තානං උපමං කත්වා...
න හනෙය්‍ය න ඝාතයේ...
සියල්ලෝම දඩුවමට බියවෙති.සියලු දෙනාම තම ජීවිත වලට ආසා වෙති.එම නිසා අනුන්ද තමා මෙන් සිතා අනුනට හිංසා නොකළ යුතුය.නොකර විය යුතුය.
...ධම්ම පදය...
...දණ්‌ඩ වර්ගය..

තව මෛත්‍රී භාවනාව තුළ සියළු සතුන්ට ආදරය කිරීම, යහපතක් වේවා කියා ඉගැන්වීම තිබෙනවා. වෙනත් සුත්‍ර දේශනා වලත් සමාජයේ යහපත් පැවැත්ම සඳහා පුද්ගලයා පමණක් නොව පාලකයා ද පැවතිය යුතු ආකාරය පැහැදිළි කර තිබෙනවා. අනිකුත් ආගමික ධර්ම තුළත් මෙවැනි වැදගත් කරුණු තිබෙනවා. 

බය කිරීමෙන් තොරව මේ දේවල් වල ආභාෂය අරන් හොඳ යයි සම්මත පුරුදු පුහුණු කරන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට. ඒකට ආගමක් කියා දෙයක් තුළ හිර කිරීම අවශ්‍ය නැහැ. පසු කලෙක ලෞකික ජීවිතයෙන් මිදෙන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ ගැන හැදෑරීම් කරලා ධර්ම මාර්ගයටම යොමුවෙන්න මෙයින් බාධාවක් වන්නේ නැහැ. 

මේ තත්වයන් ඒ ඒ පරිසර අනුව තෝරා බේරා ගන්න වෙනවා. ආහාරය සඳහා මසුන් ඇල්ලීම යම් ප්‍රදේශයක ජනතාවගේ එකම අදායම් මාර්ගය වෙන්න පුළුවන්. එහිදී කල්පනාකාරීව එවැනි අවස්ථාවකදී වුනත් වැරදි විදියට සතුන් මැරීම කියන්නේ කුමක් ද කියන එක පහදා දීම අවශ්‍ය වෙනවා. මේ වගේ අනිකුත් සමාජයට අහිතකර විවිධ දේ අවබෝධ කර දීමෙන් ඒ ඒ රටවලට ගැළපෙන හොඳ පුරුදු දරුවන්ට කාවද්දන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා සංගීතය, වෙනත් කලාවන්, සාහිත්‍ය යොදා ගන්න පුළුවන්. 

දරුවන් කවදත් හොඳයි. මේ ලෝකෙ නරක දරුවන් නැහැ.  වැඩිහිටියන්  කරන නරක තමයි ඔවුන් දකින්නේ. ඔවුන් ආදර්ශයට ගන්නේ. නැත්නම් වරදක් ද නොදැන වරදක් යයි සම්මත දෙයක්  කරන්න පුළුවන්. යාළුවගේ අලුත් පැන්සලය ආසාවට අරගෙන ගෙදර ගේන්න පුළුවන්. එය දැකපු පළමු වතාවෙම දෙමව්පියන් දරුවාගෙන් ඒ ගැන විමසන්න ඕන. එය නැවත යාළුවාට ගිහින් දී සමාව ගන්න පොළඹවා යහමගට ගන්න ඕන. මේකට දරුවා බය කරන්න අවශ්‍ය නැහැ. 

යම් හොඳ පුරුද්දක් සමාජ ගත වුණහම ඒක කඩන්න මිනිස්සු බය වෙනවා. අපායේ යයි කියන බය නෙමේ ඒක. තමන් සමාජ විරෝධියෙක් කියා මහා සමාජය සිතාවි,තමා සමාජයෙන් ප්‍රතික්ෂේප වේවි කියන බය. උදාහරණයක් විදියට මාර්ග නීති පිළිපැදීම ගන්න පුළුවන්. අපේ සමාජය තාමත් බොහෝ දුරට මාර්ග නීති පිළිපදින්නේ පොලිසිය පේන්න ඉන්නවනම් විතරයි. දඩ ගහනවට බයට, නඩු පැටලෙනවට බයට. තාම ඒක සමාජ වගකීමක් ලෙස හිතන්න පුරුදු වෙලා නැහැ. ආගම් කීයක් තියෙන රටක් ද ? නමුත් ආගමකට මුල් තැනක් නොදෙන රටවල් තියෙනවා මේ නීති අකුරට පිළිපදින. නීති ගරුක බව කුඩා කල පටන්ම සිතට කාවද්දන්න අවශ්‍යයි. නමුත් වෙන්නේ මොකක්ද ?ආගම කර තියන් හිටියත්, බොරු කීමෙන් වෙන්වීමේ ශික්ෂා පදය ඉගැන්වූ දරුවාටම මුලින්ම පාසලට ඇතුලත් කරන සම්මුඛ පරීක්ෂනයෙදී කියන්න  බොරු උගන්වනවා.  

සමාජයක සැමට එකසේ බලපාන  නීති පද්ධතියක් තිබෙන්න ඕන. දැන් අපේ රටේ කොතරම් ආගමික අනුශාසනා  තිබුනත් සැමට බලපාන පොදු නීති පද්ධතියක් ඇති කරගන්න බැරිවෙලා තියෙනවා නේ? නීතිය බලවතා ළඟ නැමෙනවා නේ? පරම්පරාවෙන් පරම්පරාවට දරුවන් දකින්නෙත් මේ අවුලම නේ? ඉතින් කවදා පායයි ද දිනිසුරු අප රටට ? කියලා අහන්න වෙනවා. 

මේ සැමට පෙර අමතක නොකළ යුතු කාරණය නම් කුමන යහපත් ගතිගුණයක් වුව රෝපණය වන්නේ මුලික අවම ආර්ථික අවශ්‍යතාවත් සම්පුර්ණ වුණ සාධාරණ සමාජයක් තුළ පමණක් බව. එසේ නොවන නිසරු බිමක වවන්න යන හොඳ ගතිගුණ කියන පැළය නිසි පෝෂණය නොලැබී මිය යනවා..එවැනි සාධාරණ  සමාජයකට පසුබිම සකසන එකත් සබුද්ධික ජනතාවගේම වගකීමක්.  

හොඳ නරක තේරුම් ගත්, වගකීම, යුතුකම්, වගවීම් හඳුනන ආගම් නැති ලොවක් මගේ එකම පැතුමයි. එය කෙදිනක හෝ ඉටුවනු ඇතිබව තරයේ විශ්වාස කරමි. මා මෙන් සිතන පතන තවත් අය මේ ලොව ඇති. එන්න මිතුර, අපි යහපත් ලොවකට පිය මනිමු. 


John Lennon

Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today... Aha-ah...

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion, too
Imagine all the people
Living life in peace... You...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world... You...

You may say I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

Wednesday, May 15, 2019

ගිණි ගෙන දැවූණි මව්බිම

 
ගිණි ගෙන දැවූණි මව්බිම 


බක් මහ අසිරියෙන් ලද
උණුසුම් සතුට විඳ විඳ
සිටි ඒ මොහොත සිඳ බිඳ
පිපිරුණා අකුණක් හිසේ මැද

ගිණි ගෙන දැවූණි මව්බිම
අළු වුණි ඇන්ද සිතුවම
සැම නෙත කදුළු බිඳුවම
ගලාගෙන ගොස්  ගඟකි කඳුළුම

දින සති වලට පෙරළී
කාලය ගලයි නොසැළී
සිත්වල නැගුණු පෙරළී
ඒත් තාමත් නොමැත පෙරළී

නැග විත්  පෙරඹරින් අර 
විහිදා  සිහිල් රැස් කඳ 
මේ දුක් අදෝනා මැද
කුමට නැගුණි ද මේ වෙසක් සඳ

අතු අග එබී බල බල
විළිබර පෙති විදා හැර
බඹරිදු එතැයි සිත සිත
කුමට පිපුනිද මේ වෙසක් මල

සැම දෙස දොරින් දොර මැද
නැත මෙහි සිනා මල් අද
වැතිරී තැවෙමි හිත හිත
කිමද මෙතරම් කටු යහන මත

Tuesday, May 7, 2019

ලෝකයේ මැදට ගියෙමි.

ලෝකයේ මැදට ගියෙමි. 

ඔබ සිටින තැන වටේට ලෝකයම පෙනේ නම් එතැන ලෝකයේ මැද වෙන්න ඕනෙ නේද ? අපි පුංචි කාලෙ හිතුවේ එහෙමයි. මේ වගේ තැනකට ගියහම ඒ සිතුවිලි අලුත් වුණා. කොහෙද මේ ? ඒ තමයි සඳ තැන්න/ සඳමිණි තැන්න නැත්නම් හැමෝම කියන Moon Plains .

ඇත්තටම ලෝකේ ලස්සන අතගාල බලන්නවත්, අහන්න වත් තියෙන දෙයක් නෙමේ කියන එක තේරුම් ගියේ ලංකාවෙත් ලෝකෙත් සංචාරය කරන්න පටන් ගත්තට පස්සේ. ඒ ලස්සන තියෙන්නේ ඒ තැන්වලට ගිහින් ඇසින් දැක බලා විඳගන්න.

මේ සුන්දර තැන පිහිටලා තියෙන්නේ නුවරඑළිය නගර මධ්‍යයේ ඉඳල 5.8km දුරින් රන්හවඩී ගම පාරේ. ඇතුල් වෙන ස්ථානයට තියෙන්නේ නගරයේ ඉඳල 2.5 km විතර. ඒ සීතාඑළිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ අර්තාපල් ගොවිපොළෙන්. ගොවිපොළට ඇතුල්වෙන තැන වාහන වතුර වළක් තුළින් ගිහින් තමයි ඇතුල්වෙන්නේ. ඒ වාහන රෝද සේදීමක් කරන්න. ඒ වතුරේ විෂබීජ නාශක දාල තිබෙන බව අපේ ගයිඩ් කිව්වා. ගොවිපොළට පිටින් අපිරිසිදු දේ ඇතුල් වීම වැළැක්වීමටයි එහෙම කරන්නේ.

එතැනින් ප්‍රවේශ පත්‍ර අරන්, සෆාරි ජීප් එකකට රු 2000ක් ගෙවල යන්න ඕන. එහි යන රියදුරු මහතා මගපෙන්වන්නාගේ කාර්යත් ඉටු කරනවා. භුමිය පාලනය කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අලි වැටක් ගොවිපොළ වටේ තියෙනවා දැකල කුකුසක් ඇති වුණා අලි නැතුව අලි වැටක් මොකටද කියල. ඒකට හේතුව අපේ ගයිඩ් කියල දුන්නා. ගොවිතැන් සඳහා වෙන් කර ගන්න ප්‍රදේශය ගෝනුන්, මුවන්,ඉත්තෑවුන් ගෙන් බේර ගන්නයි වැට දාල තියෙන්නේ. සතුන් නිදහසේ ඉතිරි ප්‍රදේශවල ඉන්නවා. වසර 5ක් එක භුමි ප්‍රදේශයක් වගා ඊළඟ කන්නයේ දී වෙනත් කොටසක වගා කරලා මේ යොදාගත් කොටසට සතුන්ට එන්න අරිනවා. 472 හෙක්ටයාර් පමණ වන මුළු භුමි ප්‍රදේශයෙන් 20 හෙක්ටයාර් තමයි වගාවට යොදා ගන්නේ.

මේ භුමිය කලින් කසළ ගොඩ ගැසූ තැනක් විදියට තිබිල තියෙන්නේ. මේ තත්වයෙන් සංචාරක ආකර්ෂණය ඇති කරන පෙදෙසක් බවට පත් කරලා තියෙන්නේ 2014 වසරේ. තැන්නට යන පාර නම් සෝදා පාළුවට ලක් වූ එකක්. වාහනයේ යද්දී මුළු ශරීරයම ඇඹරිලා යනවා. පරිස්සමට නොගියොත් කොන්ද ඉවරයි. හැබැයි තැන්නට ගියහම වටේම අංශක 360 පේනවා.හරිම මනස්කාන්ත  දසුනක්. තැන්නෙන් පහළ පෙනෙන ප්‍රපාතය  'පුංචි ලෝකන්තයක්' පෙන්වනවා. තැන්නේ සිට දසුන් හොඳින් විඳ ගැනීමට වේදිකාවක් හදල තියෙනවා.    සමහර කාලගුණික තත්ත්ව යටතේ මිහිදුමින් වැහිලා දසුන නොපෙනී යන බව අපේ ගයිඩ් කිව්වා.

මේ තැන්නට ශ්‍රී ලංකාවේ උසම කඳු දහයෙන් 9ක් ම පේනවා. ශ්‍රී පාද කන්ද විතරයි පෙන්නේ නැත්තේ
වටේ පේන කඳු වැටී තමයි, කිකිළියමාන කන්ද, (අඩි 7339 ), Single Tree Mountain (අඩි 6890 ), Great Western Mountain (අඩි 7257 ), Conical Hill Mountain( අඩි7106), කිරිගල්පොත්ත කන්ද  (7835 අඩි ), තොටුපළ කන්ද  (අඩි 7737 ), හක්ගල කන්ද  (අඩි 7110 ), නමුණුකුල කන්ද  (අඩි 6667 ) සහ පිදුරුතලාගල කන්ද  Pidurutalagala Mountain (අඩි 8281 ).

Friday, April 26, 2019

ජීවිතයත් ෆැන්ටසියකි


ජීවිතයත් ෆැන්ටසියකි

'හඳ හාමි හැංගි හැංගි එබිල බලනවා
රන්තැටියට කිරියි පැණියි අපට ගේනවා '

මේ ගීය කියපු නැති සිංහල දරුවෙක් නැතුව ඇති. මේක බොරු දෙයක් නේද කියල මෙහෙම සිංදුවකුත් කලෙක ගැයුණා. 'රන් තැටියට කිරි පැණි පුරවාලා හඳ හාමි දූ බලන්න එනවලු .....හඳ හාමි කෙලෙසද මෙහි එන්නේ ' කියලා. ඒත් අපි මුල් කවිය ගයන එක නැවැත්තුව ද ? නෑ ... අපි ෆැන්ටසි වලට කැමතියි,ආදරෙයි,

අපි පොඩි කාලේ රුපවාහිනී, පරිගණක වගේ ඒවා තිබුණෙ නැහැනේ. පසු කාලයේ ගෙදරට රේඩියෝ එකක් ගෙනාව මතකයි. අපේ අම්මල ආත්තම්මල අපිට කතන්දර කියල දුන්නා. ගම කතා,ජන කතා, ජාතක කතා,උපමා කතා....මෙකී නොකී කතා වර්ග ඒ අතරේ තිබුණා. මේ කතා වල සත්තු කතා කරනවා. ඉතින් මම අම්මගෙන් ඇහුව ඇයි දැන් සත්තු කතා කරන්නැත්තේ කියලා. අම්මා කිව්වා, වෙස්සන්තර රජ්ජුරුවෝ දරුවන් දන් දුන්න වෙලාවේ ඉඳල සත්තුන්ට කතා කරන්න බැරුව ගියා කියල. ඔන්න ඔහොමයි මම ෆැන්ටසිය ප්‍රශ්න කළේ හා ඒකට අම්මා ෆැන්ටසියකින් ම දුන්න උත්තරේ

ඒත් අද බලාගෙන යනකොට ඊටත් වඩා මුළු ලෝකෙම ෆැන්ටසියට කැමතියි නේ.
කාටුන් වල අමුතු හිතළු චරිත ...ඒවා කතා කරනවා. සත්තු පුදුම විදියට කතා කරනවා. දරුවෝ ඒවා බලනවා,සතුටු වෙනවා. ඒ කාලේ  පොතකින් විතරනේ මේ වගේ දේවල් කියෙව්වේ. දැන් ඇස් පනා පිට මේ චරිත ජීවත් වෙනවා.එක්තරා කාලයක නව කතා, කෙටි කතා, කවි,චිත්‍රපටි,වේදිකා නාට්‍ය වගේ දේවල් යථාර්ථ ජීවිතය තමයි දැක්වුයේ. නමුත් අද වෙනකොට මේ හැම දෙයකමත් අන්තර්ගත වෙන්නේ විවිධ ෆැන්ටසි. තරුණ දරුවෝ මේ වගේ චිත්‍රපටි බලන්න හුගක් කැමතියි.

 ඉතින් සමහරු 'මේවා බලල දරුවෝ නරක් වේවි, අමුතු ලෝක වලයි මේවා බලන දරුවෝ ජීවත් වෙන්නේ' වගේ පඬි තර්ක ගේනවා. ඒ වුනාට මේ වැඩිහිටියෝ දන්නේ නෑ ඒ ගොල්ලොත් මේ ෆැන්ටසි ඇත්ත කියල විශ්වාස කරමින්ය ජීවත් වෙන්නේ කියලා. දැන් බලන්න, දෙවියෝ ඉන්නවය කියල එක එක පුද පූජා කරනවා. පල්ලි කෝවිල් වල වැඳ වැටෙනවා. යාඥා කරනවා. කොහේ ද මේ දෙවියෝ ඉන්නේ මුළුමනින්ම හිතළු නේද ? ඒවා වටා මොනතරම් සංස්ථා ගොඩනැගිල තියෙනවා ද ? කී දෙනෙක් මේවා තම ජීවන මාර්ගය බවට පත් කරගෙන තියෙනවා ද ? මේවා ප්‍රශ්න කරොත් දෙන උත්තරේ තමයි අපිට නොදැනෙන, විද්‍යාවෙන් සොයාගත්තේ නැති දේවල් මේ ලෝකේ තියෙනවාය කියන එක.

මේ ලෝකයේ තිබෙනවය කියල ඇත්තටම දන්නා දේවල් ටික හා ඒ ගැන ඉදිරියටත් සොයා ගන්න දේවල් මත පමණක් ජීවත් වෙන්න මිනිස්සු කැමති නැහැ. ඒ නිසා ෆැන්ටසි මවනවා. ඒවායින් විනෝද ආශ්වාදය ලබනවා. ඒක වරදක් නෙවේ. නමුත්  ෆැන්ටසිය ෆැන්ටසියක් ලෙස දකින්න බැරිව මිත්‍යාව පෝෂණය කරමින් එහි ගැලීම සමාව දෙන්න බැරි වරදක්.
බණ දේශනා වලදී කියන්නෙත් බොහෝ විට මේ වගේ ගොතපු කතා. ගැඹුරු ධර්ම කාරණාවක් ඇහෙන්නේ එහෙමත් කලාතුරකින්.  සමහර ජාතකකතා වලත් සත්තු කතා කරනවා. හඳේ හාවා අඳින කතා, සතුන් නායකයා තෝරන කතා අපි පුංචි කාලේ අසාවෙන් අහපු, කියවපු කතා.

මෙහෙම බලන් ගියහම ජීවිතයම ෆැන්ටසියක් නෙමෙයි ද?

Saturday, April 13, 2019

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


දාහය ගත දවන ගිණි මැද
මදහස සැඟව ගිය මුහුණු මැද
එරබදු කෝ? කොහේ පිපුණිද
නෑ ...නැත අද කොවුල් ගී නද

තෙල් බිම් සොයා කැණ කැණ
ලෝකය සැප සොයා යන
නැවතුම කවදාක වේවිද කොතැන?
දුවයි ඒ ගැන කිසිත් නොම දැන

පොරොවත් වගක් නොබලම 
හෙලමින් වනස්පති බිම
නිල්වන් සළුව නැතුවම
නිරුවත් කළා  මව්බිම

වැහි බිඳු අහස් කුස හිඳ
ඔච්චම් කරන හැටි අද
වැසි දහක් බිම වැටුනද
සරතැස නිවීමක් වෙද

ගිනි කඳු දෙපා යට ඇත
පිපිරුම ලඟම ළඟ ඇත.
පුරුද්දට ඉතින් නැත තිත
මෙන්න සුබ අවුරුදු පැතුම් පත !!!

Tuesday, April 9, 2019

මානෙල් - Water Lily

මානෙල් - Water Lily 


                                                             Giant Water Lily

මානෙල් පැළයේ මලක් එනකම් ආසාවෙන් බලා හිටියේ. කලින් පැලේ  හොඳින් හැදිලා මල් එන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ Blacky කෙල්ල ඒකෙ ඔක්කොම කොළ කෑව. ඊට පස්සේ තිබ්බ තැන හෙවන නිසා පැලේ වැඩීම බාල වුණා. ඊට පස්සේ බඳුනත් මාරු කරලා බැල්කනියට අරන් ගියා. ඒත් කියන්න තරම් වෙනසක් වුනේ නැහැ. පස්සේ යෙහෙළියක් කිව්ව විදියට රසායනික පොහොර කැට යෙදුවා. මාළුන්ට හානි වෙයි කියලා පොහොර යොදන්න බයේ හිටියේ. දවස් කිහිපයයි ගියේ. ලොකු කොළ ඇවිත් පැළය සරුවට වැඩුනා. මල් මොට්ටුව ආවා. මල පිපෙන වෙලේ මං ගෙදර හිටියේ නැහැ. ඒ අරුමය දැකපු මිණිපිරියෝ දෙන්නා අමන්දානන්දයට පත් වෙලා තිබුණා. 'අම්මේ අද හරි ලස්සනට මල පිපිලා තිබුණා ' කියලා දැරියන්ගේ අම්මා මං රෑ ගෙදර ආවහම කිව්වා. මං බලන්න යනකොට මල හැකිළී තිබුණා. පසුදා නැවත පිපුණා. ඔහොම දවස් හතරක් විතර මල උදේට පිපුණා. හවසට ඇකිළුනා. දැන් නම් ඒක පරවෙලා.

                                                                           මගේ පැළය 

මානෙල්/ඕලු (Water Lily)   Nymphaeaceae කියන කුලයට අයිති මල් පිපෙන ජලජ ශාක වර්ගයක්. මෙයට අයත්   විශේෂ 58ක් පමණ ලෝකයේ නිවර්තන හා සෞම්‍ය කලාපයේ රටවල් වල දකින්න ලැබෙනවා. මේවා ගණ 6කට අයත් වෙනවා. මේ පැළෑටි වල කඳ තියෙන්නේ මඩේ ගිලිලා. සිහින් නම්‍ය ශීලී නටු වලින් කොළ වතුර මතුපිටට ගේනවා. වතුර මට්ටම අඩු වැඩි වෙන කොට නටු නැමෙමින් කොහොම හරි පත්‍ර වතුර මත තබා ගන්නවා. මේ පත්‍රවල මතුපිට දිලිසෙන සුළුයි. ඉටි තැන්පත් වෙලා තියෙනවා. වතුර පත්‍ර මත රැඳෙන්නේ නැහැ. මේ පත්‍රවල පුටිකා සිදුරු තියෙන්නේ උඩ පැත්තේ. වතුර රැඳෙන්නේ නැති නිසා පුටිකා සිදුරු අවහිර වීම වැළැක්වෙනවා. මේ සිදුරු වලින් ඇතුල්වෙන වාතය ගබඩා කර ගන්න පැළයේ කඳ, නටු,පත්‍ර වල ලොකු වා කුටීර තියෙනවා.

සැබවින්ම මානෙල් කියන ගණය වන්නේ Nymphaea  කියන එක. මෙහි විශේෂ 46ක් පමණ තිබෙනවා.    නිල්මානෙල් Nymphaea nauchali අපේ හා බංගලිදේශයේ ජාතික පුෂ්පය බව ඔබ දන්නවා ඇති.     North American White Water Lilly - Nymphaea odorata , Europian White Water Lily- Nymphaea alba,

                                                      පදනම් ආයතනයේ වවා තිබු පැළයක්


Victoria කියන ගණයට අයත් විශේෂ දෙකක් අයත්වන  නිවර්තන දකුණු ඇමෙරිකානු ශාක  Giant Lily ලෙස සැලකෙනවා.  Royal water lily-  Victoria amazonica   Santa Cruz Water Lilly- Victoria cruciana කියන මේ විශේෂ දෙකේ පත්‍ර හරි විශාලයි, 60-180 cm  පමණ විශ්කම්භයක් තියෙනවා. ඉතා ඝන නාරටි  හා උඩට හැරී නැමුණු පත්‍ර දාර දරනවා.  පෙති 50ක් පමණ දරණ 18-46 අතර විශාලත්වයක් ඇති යෝධ, සුවදවත් මල් මේවායේ පිපෙනවා.

මේ කුලයේ ශාක දෙමුහුම් කිරීම මගින් විශාල විවිධත්වයක් ඇති කර තිබෙන අතර අලංකාර ශාක ලෙස බොහෝ ගෙවතු හා උද්‍යාන අලංකරණයට යොදා ගෙන තිබෙනවා. අපට දවසින් දවස අලුත් මානෙල් වර්ග දක්නට ලැබෙන්නේ මේ නිසයි. මේවායේ ගෙඩි/ඵල බදරියක් (Berry)ලෙසයි හැදෙන්නේ.






Berries


මේවායේ ළපටි පත්‍ර, මල් මොට්ටු, කඳ ආහාරයට ගන්නවා. ඇටත් පෝෂ්‍ය දායි ආහාරයක්.  මේ ශාක ජලජ සත්වයින්ට ආහාර සපයන නමුත් අධිකව වැවීමෙන් ජල මාර්ග අවහිරවී ජලය බැස යාමට බාධා ඇති කරනවා. (Photos of  Giant Water Lily and Fruits from Internet)
  


Wednesday, April 3, 2019

දඬුවම් ......


දඬුවම් ...... 

මේ දිනවල දණගැසීමේ දඬුවම ගැන කතා වෙන නිසා මේ අත්දැකීම් ලියන්න හිතුණා.

ඔව් මාත් දණගසා ගෙන ඉඳල තියෙනවා. මාත් මගේ මිතුරියත් පන්තිය ඉස්සරහ හිටගෙන කතා කරමින් හිටිය කියලා විදහල්පතිතුමිය අපිට දඬුවම් කළා . අපි දෙන්නා කාර්යාලය ඉදිරිපිට පැය ගණනක් දණගහල හිටියා. 

තව වතාවක් සිංහල විෂයට ඒ කාලඡේදයේ වැඩ ආවරණය කළ (Relief) ගුරු තුමිය, ගුරුතුමියක්  විශ්‍රාම යන අවස්ථාවට සුදුසු  සුබ පැතුම් පතක් හදන්න කිව්වා. මම ඒ ගුරු තුමියගේම නම දාල නිර්මාණ ශීලී විදියට ඒක හැදුවා. ඒකට ඇයට තරහ ගියා. 'මාව විශ්‍රාම යවන්නද හදන්නේ ' කියා මා දණ ගැස්සුවා පන්තිය ඉදිරිපිට.  

මේ අවස්ථා දෙකේම ඒ වයසේ දී හුඟාක් ලැජ්ජාවට පත්වෙලා දුක් වුණා. ඒ නිසා මම මගේ ගුරු ජීවිතයේදී දරුවන් දන ගස්සවා නැහැ. හිටගෙන ටිකක් වෙලා ඉන්න කියන එක පමණයි  කළේ.

තව අපේ පාසලේදී පුටු උඩ නග්ගවා තැබීමේ දඬුවම බොහෝසේ ක්‍රියාත්මක වුණා. ඉස්සර  පෙළ පොත් අපි මිලදී ගන්න ඕන. අද වගේ ඒවා නොමිලේ ලැබුණේ නැහැ. ආර්ථික ප්‍රශ්න නිසා ඇතැම් අවස්ථා තිබුණා ඒවා ගන්න බැරිවෙන. ඒ ගැන විමසීමක් නොකර, පොත ගෙනාවේ නැතැයි කියා  පුටු උඩ හිටගෙන ඉන්න සැලැස්සු වාර බොහෝයි . ඒවා ඉතා අප්‍රසන්න අවස්ථා.  

අනික පොත ගුරුතුමිය විසින් පන්තියෙන් ඈතට විසි කිරීම. මගේ මැහුම් කොතෙක් හොඳට කළත් ඒ ගුරුතුමිය ඒවා ඇදල ලිහල පන්තියෙන් එළියට විසිකරනවා. ඒ කාලයේ දඬුවම් ඔන්න ඔය විදියට තමයි ලැබුණේ. … පොඩි දරුවෙක් විදියට දුක හිතුණා ඒ වෙලාවල්වල. 

මගේ ගුරු ජීවිතයේදී දරුවන්ට පාරක් නොගැහුවා කියල කියන්නේ නැහැ. නමුත් ඉතාමත් අඩුයි එවැනි අවස්ථා. ඒත්  උසස් පෙළ දඬු කොල්ලන්ට විතරයි. නමුත් ජීව විද්‍යා ගුරුවරියක් විදියටත් හා විද්‍යා අංශ ප්‍රධාන විදියටත් බොහෝ අවස්ථාවල ඔවුන් හික්මවීමට වෙනත් උපක්‍රම යොදා ගත්තා.


Friday, March 29, 2019

කිසිවෙකු නොගැයූ මා ලියූ ඒ ගීතය .....


කිසිවෙකු නොගැයූ මා ලියූ ඒ ගීතය .....


කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මටම හමු වුණා දවසක්
පැරණි පොත් පිටු අතර රැදී සිට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
වියැකෙන්නටත් ලං වී තිබුණි
කඩදාසියේ නැමී අතර

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මම මටම මිමිණුවා සෙමෙන්
මගේම තනුවකට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
මිමිණු ඒ සිහින් රාවයෙන්ම
පිවිසුණා ඈත අහසට

කිසිවෙකු නොගැයූ
මා ලියූ ඒ ගීතය
පුදුමයි දැන් ගයනවා හැමදාම
කුරුල්ලෙක් අඹ ගස මුදුනේ සිට
 

Wednesday, March 20, 2019

අධ්‍යාපන මාධ්‍ය/Language of Instruction

අධ්‍යාපන මාධ්‍ය/ Language of Instruction

මේ දිනවල විවාදයට බඳුන්වන ප්‍රධාන කාරණාවක් වන්නේ දරුවන්ට ඉගැන්වීමට යොදා ගත යුතු භාෂා මාධ්‍ය කුමක්ද යන්න නිසා ඒ ගැන විමසීමක් කිරීම සුදුසු යයි හිතුවා. මේ ගැන සඳහන් වන අතිමහත් පර්යේෂණ ඇතුළු සාහිත්‍යයක් යුනෙස්කෝ ඇතුළු ලෝකයේ විවිධ ආයතන හරහා ඔබට ලබා ගන්න පුළුවන්.

පහත සඳහන් වන්නේ එසේ ලබා ගත් කරුණු කිහිපයක්.

'Research has shown that children’s first language is the optimal language for literacy and learning throughout primary school (UNESCO, 2008a).'

'ගුණාත්මක මුලික අධ්‍යාපනයක් ලබාදීම  කෙරෙහි බලපාන සාධක රැසක් ඇති නමුත් පන්තිකාමරයේදී සන්නිවේදනය හා අවබෝධය උදෙසා යතුර වන්නේ භාෂාවයි. දියුණුවෙමින් පවතින රටවල පුද්ගලයන් හා සමාජය බහුභාෂීය වන නමුත් අධ්‍යාපනයේදී වෙනත් විදේශීය භාෂාවක් මුලික කරගනු ලැබේ. සිසුන් කතා නොකරන භාෂාවක් අධ්‍යාපන මාධ්‍ය ලෙස යොදා ගැනීම submersion කියා හඳුන්වනු ලැබේ. එය හරියට පිහිනන්න ඉගැන්වීමක් නැතිව වතුරට  බැස්සවීමක් වැනිය. නිසි පරිදි පුහුණුවූ ගුරුවරු, සුදුසු විෂයමාලා , මනා පාසල් පහසුකම් නැතිව මෙසේ කිරීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන්ම ගුරුවරයා ටද විදේශීය භාෂාව හුරුනොවූ කල මෙය තවත් බැරෑරුම් වේ.

මව් භාෂාව පදනම් වූ ද්විභාෂා වැඩසටහන් වල L1 යනුවෙන් හැඳින්වෙන පළමු බස අධ්‍යයන කාර්යයේදී මුලින්ම කියවීම හා ලිවීම සඳහා යොදා ගැනේ. L 2 යනුවෙන් හැඳින්වෙන දෙවන බස ශිෂ්‍යයා තමාට හුරු ලබා ඇති කුසලතා අනික් බසකට හුවමාරු කරගැනීමට හැකිවෙන ආකාරයකට ක්‍රමානුකුලව ඉගැන්විය යුතුය.'

අපේ රටේ තිබුණු අධ්‍යාපනය මොන වගේ එකක් ද කියල මුලින්ම මදක් විමසා බැලුවොත් හොඳයි කියල හිතෙනවා. අතීත ශ්‍රී ලංකාවේ ආගමික පසුබිමක් සහිත අධ්‍යාපනයක් තමයි තිබුනේ. බෞද්ධ ජනතාව මව් බසට අමතරව සිසුන් පාලි, සංස්කෘත,වගේ භාෂා ඉගෙන ගෙන තියෙනවා.  හින්දු සිසුන් සංස්කෘත භාෂාවත්, මුස්ලිම් සිසුන් අරාබි භාෂාවත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ භාෂා ආයුර්වේදය හා ජ්‍යෝතිෂ්‍ය සඳහා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.නමුත් අධ්‍යාපන අවස්ථා සුලබ වුනේ නැහැ. පසුව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පැවතුනත් සැම දෙනාටම අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා තිබුණෙ නැහැ. මළ පොතේ අකුරුවත් දන්නේ නැහැ කියන කියමනෙන් ඒක පැහැදිලි වෙනවා. යටත් විජිත ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසීන්   විසින් දිවයින පුරා පාසල් ආරම්භ කරලා තියෙනවා.

ඒ සමග පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ආරම්භ කළ පැරිෂ් පාසල් ඉවත් වෙනවා. නමුත් සැමට සමාන අධ්‍යාපනයක් ලැබුණා යයි මින් අදහස් වන්නේ නැහැ. මේ පාසල් අතර මුදල් ගෙවා ඉගෙන ගන්න අවශ්‍ය වුනු ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සේවය කලේ රාජ්‍ය පාලනයේ පහළ මට්ටමට අවශ්‍ය සේවකයන් සකස් කර ගැනීමට. අනිකුත් පාසල් ස්වභාෂා පාසල්. මේවායේ අධ්‍යාපන මාධ්‍ය වුනේ සිංහල හෝ දෙමළ. පහසුකම් තිබෙන විට ඉංග්‍රීසිත් උගන්නලා තියෙනවා. මගේ මිත්තණිය පැවසුවා පියතුමාට සුරුට්ටු බොන්න සල්ලි දුන්නහම ඉංග්‍රීසි ඉගැන්නුවා කියල. ගැහැණු ළමයින් විදුලි පුවතක් තේරුම් ගන්න තරමට ඉංග්‍රීසි දැනුමක් ලබුවහම ඇති කියල තමයි අදහස් කරලා තියෙන්නේ.

නිදහස ලැබීමෙන් පස්සේ ලංකාවේ පාසල් පද්ධතිය දියණු වුණා .ඉංග්‍රීසි මාධ්‍ය මිෂනාරි පාසලුත් තිබුණා. පසුව ඉංග්‍රීසි මාධ්‍ය උසස් පාසල් ද බිහි වුණා. මේ අතර තීරණාත්මක ඓතිහාසික සිදුවීම් කිහිපයක් සිදුවුණා. පළමුවැන්න 1947 නිදහස් අධ්‍යාපන පනත . මෙහිදී කන්නන්ගර මැති තුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය ක්‍රියාවට නැංවුණා. අන්න එහිදී පන්ති බේදයකින් තොරව දක්ෂ දරුවන්ට 6වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා වුණා. එසේ බිහිවූ පරම්පරාව මනා ලෙස භාෂා දෙකම හසුරුවන්න පුළුවන් ද්විභාෂා උගතුන් බවට පත් වුණා. දෙවනුව 1960 දී සම්පුර්ණ අධ්‍යාපන පද්ධතියම රජයේ පාලනට නතු කරනු ලැබුවා. ඒ වගේම අධ්‍යාපන මාධ්‍ය සිංහල/දෙමළ බවට පත්වුණා.මෙයට දේශපාලනික හේතු බලපෑවා. පොදු ජනයා අතර ඉංග්‍රීසි සුද්දාගේ භාෂාව ලෙස නොසැලකිල්ලට භාජනය වුණා. ඉංග්‍රීසි උගත් දෙමව්පියොත් තම දරුවන් ස්වභාෂා පාසල් වලට යවන්න පෙළඹුණා. මෙහි නරක ප්‍රතිඵල අදටත් රට අත් විදිනවා. නමුත් පාලකයන් ඇතුළු ඉහළ පැලැන්තිය තම දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා දෙමින් ඉංග්‍රීසි,ප්‍රංශ වැනි භාෂා වල ප්‍රවීණත්වය ලබා දුන්නා. පන්ති භේදය පවත්වා ගෙන යන්න ඉංග්‍රීසිය පිටිවහලක් කරගත්තා.

දැන් කියන්න යන්නේ මා ලැබූ අත්දැකීම් කිහිපයක්. අපි 1960න් පස්සේ අධ්‍යාපනය ලැබූ පරම්පරාව. ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබුවා. සිංහල මාධ්‍ය අධ්‍යාපනය ප්‍රධාන කොට ගත් ඉගෙනීමක් ලැබුවේ. ඉංග්‍රීසි දෙවන බස ලෙස ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි අධ්‍යාපනයේ සාර්ථකත්වය ඒ ඒ ශ්‍රේණියේදී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයා මත තීරණය වුණා. ඉංග්‍රීසි විෂය කාල ඡේදයට ඉංග්‍රීසි හැකියාව අනුව වෙනම කාණ්ඩ ලෙස ඉගෙන ගන්නා ක්‍රමයකුයි තිබුනේ.  අට වන ශ්‍රේණිය වෙනකම් ඉගැන්වූ ගුරු තුමිය නිසා ඉහළ ලකුණු මට්ටමක් ලබල 9 ශ්‍රේණියේ දී හොඳම කණ්ඩායමට තේරුණා. නමුත් එතැන් සිට පැමිණි ගුරුතුමිය ඉතා කරුණාවන්ත නමුත් එතුමියගේ ඉගැන්වීම මට ගැලපුනේ නැහැ. මම කලින් ගුරුතුමියගේ කණ්ඩායමට ස්ව කැමැත්තෙන් ගියා. ඒ වෙලාවේ අනික් ගුරු තුමිය "පැදුරටත් නොකියා ගියේ ඇයිද" කියා විමසා මා නැවත කැඳවා ගත්තා. ඉංග්‍රීසි අධ්‍යාපනය එතැනින් පසු අඩාල වුණා.නිවසේ ඉංග්‍රීසි ප්‍රවීන උගතුන් සිටි නමුත් පරිසරය සම්පුර්ණයෙන්ම වගේ සිංහල. අපිට ඉංග්‍රීසි ඉගැන්විය යුතු බවක් ඔවුන් සිතුවේ නැහැ. ගෙදර තිබුණු මගේ මවගේ අබලන් ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් භාවිත කරමින් ස්වෝත්සාහයෙන් ඉංග්‍රීසි කියවීම ප්‍රගුණ කළා.

විශ්ව විද්‍යාලයේදී මුලින්ම තිබුණු ඉංග්‍රීසි ප්‍රවීණතා විභාගයෙන් සමත් වුණා. නමුත් පාරිභාෂික වචන හුරුවීම අසීරු වීම නිසා ප්‍රථම වසරේ භාෂා දෙකේම දේශන වලට සහභාගී වී සිංහල ඉංග්‍රීසි මිශ්‍ර බසකින් විභාග වලට පිළිතුරු ලිව්වා. නමුත් එම පරිසරයේ තිබුණේම ඉංග්‍රීසියට මුල් තැන දෙන වටපිටාවක්. දෙවෙනි වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යට සම්පුර්ණයෙන් ම හැරෙන්න සිදු වුණා. විශේෂ උපාධි පාඨ මාලා සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වුණා. දුෂ්කරතා මැද භාෂා වෙනසට මුහුණ දුන්නා. ස්වෝත්සාහයෙන් ම ඉංග්‍රීසි ප්‍රවීණතාවය ලැබූ මගේ සැමියා මට මෙහිදී බොහෝ උපකාර කළ බව ස්තුති පුර්වකව සඳහන් කරනවා.  අවසානයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අවසාන උපාධිය ලැබුවා. ගුරු වෘත්තියට පිවිසීමෙන් පසු නැවත සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම කළා. වෙනත් රැකියා වලට පිවිසි සමකාලිකයන් දිගටම තමන් ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ නිසි ඵල ලබා ගත්තා. උසස් පෙළ ඉගැන්වීමේ කටයුතු වලටත් ඒ ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය බොහෝ ප්‍රයෝජනවත් වූ බව කියන්න ඕන. මං හිතන්නේ අපේ කාලයේ විද්‍යා අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුගේ කතාව මීට සමාන ඇති කියලයි.

අපිට ඇතැම් විෂයන් ඉගැන්නුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන පසුව සිංහල මාධ්‍යයෙන් උගන්වන්න සිදුවූ ගුරුවරු. ඔවුන් කියන ඇතැම් දේ අපිට තේරුනේ නැහැ. දැන් ඒකෙ අනිත් පැත්ත සිදුවෙනවා. සිංහල මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගුරුවරුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. බොහෝ විද්‍යා ගණිත උපාධි ධාරීන් නම් විශ්ව විද්යාල අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

2001 වසරේදී උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වීමත් සමග නැවත ද්විභාෂා අධ්‍යාපනය ඇරඹෙනවා. මෙය සාමාන්‍ය ජනතාව අතරට ගියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලෙස. පසුව 6 ශ්‍රේණියේ සිට විද්‍යාව,ගණිතය, සෞඛ්‍ය වැනි විෂයයන් කිහිපයක් සඳහා ද්විභාෂා මාධ්‍ය හඳුන්වා දෙනවා. මෙහිදී පැනනගින ගැටලුව ද්විභාෂා ප්‍රගුණ ගුරුවරුන් හිඟ වීම.

මා ඉගැන්වූ පාසලේ එසේ ගුරුවරුන් නැති වීම නිසා 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යා විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න උසස් පෙළ ගුරුවරියක් වූ මට සිදුවුණා. එහිදී මා කලේ භාෂා දෙකෙන්ම පාඩම පැහැදිලි කර දීම. නමුත් සිංහල පාරිභාෂික පද වලට ගියේ නැහැ. ඒවා ඉංග්‍රීසි පද වලට වඩා අමාරුයි. සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියා ගැනීමට සැලැස්වූ අතර පිළිතුරු ලිවීම ද විභාගය ඉලක්ක කරගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කළා. මුලදී සිසුන් 40ක් පන්තියේ හිටියා. ඇතැම් දරුවන් දැඩිසේ භාෂා දුර්වලතාව දැක්වුවා. විෂය කරුණු අවබෝධ කර ගැනීම දුර්වල වුණා. එයින් දරුවන් 20ක් නැවත ස්ව කැමැත්ත මෙන්ම දෙමව්පිය උවමනාව මත නැවත සිංහල මාධ්‍ය වෙත හැරුණා. ඉතිරි 20 සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී හිටියා. එක දරුවෙක් හැර සියල්ලන්ම සමත් වුණා. A සාමාර්ථ ගත් දක්ෂ දරුවොත් හිටියා. මේ නිසා මේ පන්ති වලට දරුවන් දැමීමට පෙර මුලික භාෂා හැකියාව දී තිබිය යුතු බව පෙනී ගියා.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේදී පෙනී ගියා සමහර ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් ඉතාමත් හොඳ භාෂා ශෛලියකින් පිළිතුරු දී ඇති බව. ඇත්තෙන්ම විද්‍යා විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම පහසුයි. පාරිභාෂික පද පිලිබඳ ගැටළු එන්නේ නැහැ. මේ අතරම අපි අත්දැක තිබෙනවා, සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන දරුවන් පවා භාෂාව හැසිරවීමේදී ඉතා දුර්වල බව. කෙටියෙන් කිව්වොත් පොදුවේ ලිඛිත මෙන්ම වාචික බස හැසිරවීම දුර්වල බව බොහෝ නිවේදකයන් ගේ බස වැහැරීම අනුවත මෙන්ම මුහුණු පොතේ අදහස් දැක්වීම් වලිනුත් පැහැදිලි වෙනවා.

තවත් කරුණක් තමයි අපේ රටේ ඉංග්‍රීසි භාෂාවක් වශයෙන් උගන්වන ක්‍රමයේ වරද. මේ නිසා බොහෝ සිසුන් ඉංග්‍රීසි විෂයට අකමැත්තක් දක්වනවා. දරුවන් අවුරුදු දහතුනක් පාසලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අවසානයේ ලබන දැනුමක් නැති බව පේනවා. උසස් පෙළදී සිසුන්  පාසලේදී සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙනීම විහිළුවකට හරවා ගන්නවා. පාසල ලොකු ද පොඩි ද නගරබද ද ගම්බද ද කියා වෙනසක් නැතුව මේ තත්වය දැකලා තියෙනවා. පාසලින් අස්වූ පසු  විවිධ  අමතර පන්තිවලට යමින් මුදල් ද වියදම් කර ගනිමින් අතරමං වෙනවා.

මෙසේ සලකා බැලු විට මට නම් පෙනී යන්නේ ද්වි භාෂා එළඹුම වඩා උචිත බවයි. ප්‍රාථමික පාසලේ දී භාෂා දෙකම මනා ලෙස දත්, හොඳින් පුහුණුවූ ගුරුවරයාගෙන් මෙය ආරම්භ විය යුතු වෙනවා. ඉංග්‍රීසි බසෙන් පිළිතුරු ලිවීම, දරුවන්ගේ කැමැත්ත හා දක්ෂතාවය මත  6 ශ්‍රේණියෙන් ආරම්භ කිරීමට පුළුවන්. භාෂාවක් ලෙස සාහිත්‍ය ලෙස සිංහල/දෙමළ  ඉගෙනීමත් සමාන්තරව නිසි පරිදි සිදුවෙන්න අවශ්‍යයි. දරුවන්ට කියවීම හුරු කිරීම බොහෝ ගැටළු වලට පිළිතුරු සපයාවි. උචිත දේ කියවීම මිනිසා සම්පුර්ණ කරනවා.



Wednesday, March 13, 2019

බැඳුම්

බැඳුම්



            බැඳුම් ඇත අප අතර මනරම්
            ලිහුම් ගැන සිතන්නත් බැරි තරම්
            අම්මෙකුයි දුවෙකුයි අතර තරම්
            බැඳීමක් නැතුව ඇති මෙලොව නම්...

            ලෝකයේ දෙකෙලවරට වී ඉඳන්
            එකම ඉර හඳ තරු දෙස බලන්
            සිටිනමුත්  දුරස් වී මේ තරම්
            ඇසෙනවා වගේ හඬ කණ ලඟින්

            තිරයෙන් මුහුණට මුහුණ බලන්
            කතා කෙරුවත් ඔහේ  ඇති තරම්
            ළඟ ඉඳන් රණ්ඩු කර හැටි තරම්
            රසයක් දැනෙන් නෑ වගේ මට නම්

         



            අද දෝණි කතා කළා දැයි අසමින්
            තාත්තත් නුඹ ගැන හරි විපරමින්
            දරු තිදෙන හදපු හැටි ආදරෙන්
            සිහි වෙනව ඇති තාත්තටත් දැන්

          මෙබිම හිස් බිමක් වේ යයි මෙතරම්
          සිතුවේ නෑ නුඹ පිටව ගිය දිනේ නම්
          වසර ගණනක්  දෙමින් හද රිදුම්
          හැම තැනම දැනේ ඒ සුවඳ නම්

          කාලයේ විහඟුන්ට  නැත වෙහෙසුම්
          පියාඹයි නොසොයාම මග ලැගුම්
          තැබුවත්  දිනෙක මේමගේ තිත නැවතුම්
          සිතෙයි මට එදින වත් නොබිඳේවී මෙබැඳුම්


Friday, March 8, 2019

දිමි සටන


දිමි සටන 



මේ මම දැක්ක දිමි  (Red Ant/ Fire Ant)  සටනක් ගැන විස්තරයක් . කාලය 2019 මාර්තු 08. තැන ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථා පරිශ්‍රය.  Colombo International Film festival එකේ 3.30 චිත්‍රපටිය පටන් ගන්න කම් එළියේ ඉඳගෙන ඉන්න වුණා. පොතක් ගෙනියන්නත් අමතක වුණා කියවන්න. අතේ තිබුණු කොළ කෑල්ලක් අරන් සටහනක් කුරුටු ගාන්න අවට පරිසරය දිහා බැලුවා.

ඉදිරිපස ටයිල් පොළවේ දිමි රංචුවක් විසිරිලා එහෙ මෙහෙ දුවනවා මහා කලබලෙන්. දිමියෙක් තව දිමියෙක් කරතියන් යනවා දැකල මං විමසිලිමත් වුණා. මෙන්න ඒ වගේ තව කීප දෙනෙක් වෙන එකෙක් කරතියන් හරි ඇදගෙන හරි යනවා. මම මුලදී හිතුවා මළ සිරුරු උස්සන් යනවා කියලා. හොඳට ලං වෙලා බැලුවම කරේ යන එවුන්ට පණ තියෙනවා. උන් දඟලනවා. සමහර තැනක දිමි දෙන්නෙක් එකෙක් දෙපැත්තට අදිනවා. මේ දිමි විශේෂ දෙකක සටනක් විය හැකිද ? දිමි  ඇතුළු කුහුඹු විශේෂ අතර සටන් තිබෙන බව දැන ගත්ත. නමුත් මේ ගැන එතරම් පැහැදිලි විස්තර ලැබුණේ නැහැ. ඔවුන් ආහාර, වාසස්ථාන වගේ දේවල් වලට සටන් කරනවා ඇති. කොහොම හරි විනාඩි 30ක් විතර යනකොට එතැන බිම එක දිමියෙක් වත් හිටියේ නැහැ.

දිමියන් ජීවත් වෙන්නේ ගස් උඩ නිසා මොවුන් රුක්වැසි කුහුඹු වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන කුහුඹු  විශේෂ ගණන වරින් වර විද්‍යාඥ අදහස් අනුව වෙනස් වෙනවා. 2012 රතු ලැයිස්තුවට අනුව ලංකාවේ කුහුඹු  විශේෂ 205 ක් ඇතැයි සඳහන් වෙනවා.

Solenopsis ගණයට අයත් විශේෂ ගණනාවක් දිමියන් ලෙස හඳුනා ගන්නවා Wikipedia ශ්‍රී ලංකා කුහුඹු ලැයිස්තුවේ නම් හමු වුණේ Solenopsis  germinata   හා යන  Solenopsis nitens   විශේෂ දෙක විතරයි.

Monday, March 4, 2019

Anatomy of Violence.....



Anatomy of Violence.....අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය

බොහෝ දෙනා හිතා ගෙන ඉන්න විදියට අපරාධ කරුවන්ගේ හෘදය සාක්ෂිය එසේ වන්නේ නැති බව ඊයේ තේරුම් ගත්ත. ඊයේ කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල  Colombo International Film Festival බලන්න ගිය දෙවෙනි දවස.

ඊයේ 3.30 තිර ගත වුණේ දීපා මේතා ගේ Anatomy of Violence.....කැනේඩියානු චිත්‍රපටිය. ඔබට Water, Fire, Earth, Midnight's Children යන චිත්‍රපටි සමග දීපා මේතා මතක ඇති. විශේෂයෙන් ලංකාවේ රූ ගත කළ ලංකාවේ ළමා නිලියක් රඟපෑ Water  ඔබට අමතක වෙන්න විදියක් නෑ.

ඉතින් ඊයෙ බලපු මේ චිත්‍රපටිය සුවිශේෂී එකක්. සිනමා පටය කොටස් 4 කින් යුක්තයි.
1. Lives lived- අතීත සිදුවීම්
2. Towards zero - දුෂණය සිදු කළ දවස
3. Division of spoils - වහාම ඉන්පසු සිදුවීම්
4. Aftermath - පසු සිදුවීම්

 චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නේ 2012 වර්ෂයේ, දිල්ලියේ බස් රථයක් තුලදී බිහිසුණු තිරශ්චීන සමුහ දුෂණය කට මුහුණ දී මියගිය වෛද්‍ය ශිෂ්‍යාව මත. ඒ කතාව ඔබට මතක ඇති. චිත්‍රපටියේ විශ්ලේෂණය වෙනවා, ඒ අපරාධය කරන ලද කල්ලියට අයත් පුද්ගලයන්ගේ,අතීතය. ඔවුන් කුඩා කල පවුල් පසුබිම, හැදී වැඩුණු පරිසරය, ඔවුන් මුහුණ දුන් විවිධ දුෂ්කරතා, දුප්පත්කම, කුසගින්න, පමණක් නොවේ, විශේෂයෙන්ම ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ ලිංගික අතවර ආදී සියල්ල . කෙටියෙන් කියනවා නම් ඔවුන්ගේ සමාජානුයෝජනයේ දී සිදුවූ වැරදි පෙන්වා දෙනවා. විවිධ තත්වයන් යටතේ ලොකු මහත් වෙන මොවුන් තරුණ වියේදී  දිල්ලියට එනවා. අහඹුවක් ලෙස කල්ලිය එකතුවෙනවා. එකට ජීවත් වෙනවා. මොවුන් ජීවිත් වීමේ අරගලයට මුහුණ දෙන ආකාරය, ඔවුන් ගේ නුගත්කම, අසාමාන්‍ය ලිංගික චර්යා පෙන්වා දෙනවා.

මේ අතරම මෙහි දිගටම වරින් වර ඉස්මතු කරමින් පෙන්වනවා ඒ ගැහැණු ළමයාගේ පවුල් පසුබිම, ඇගේ ජීවිතය ගලා යන ආකාරය, ඇගේ මිතුරු මිතුරියන් හා මේ බිහිසුණු අපරාධයට මුහුණ දීමට පෙර ඇගේ අභිමතාර්ථයන් හා සිහින.
අවසානයේ මේ කල්ලිය එක්තරා රාත්‍රියක බස් රථයට නගින මේ යුවතිය සමුහ දුෂණයට පත් කර ඇගේ පෙම්වතාටද පහරදී අතරමග දමා යනවා. නමුත් චිත්‍රපටිය තුල මේ දුෂණ සිද්ධිය නිරුපනය කරන්නේ නැහැ.
සිනමා රුපීය වශයෙන් විශේෂත්වයන් කිහිපයකුත් මේ සිනමා පටයේ තියෙනවා. එකක් තමයි අපරාධ කරුවන්ගේ ළමා කාලයේ සිදුවීම් වලට පණ පොවන්නේත් වැඩිහිටි නළුවම වීම. කටහඬ පමණක් ළමා හඬින් දක්වනවා. ප්‍රේක්ෂකයාට ළමයා කුමන වයසක ද යන්න බාහිර පොතේ ගුරෙක් මගින් පෙන්වා දෙනවා. මෙය මුලදී තේරුම් ගන්න ටිකක් අමාරු වුණා. අනික් විශේෂත්වය නම් අපරාධයට බඳුන් වූ යුවතියගේ ජීවිතයේ අවස්ථා පෙන්වා අවසාන වන සෑම අවස්ථාවේම නිශ්චල ඡායාරූපයකින් අවසන් කිරීම.

අපරාධයට  පසු සිදුවීම් කිහිපයක් Division of spoils  කොටසේ පෙන්වනවා. අපරාධ කාරයෝ අහු වෙනකම් තම තමන්ගේ වැඩ කරගෙන යනවා. ඔවුන් තුළ සිද්ධිය පිලිබඳ කම්පාවක්, පසුතැවීමක් පෙනෙන්නේ නැහැ.
  Aftermath කොටස වඩා වැදගත්. ඉහළ  සමාජය ගැහැණු ළමයා පිට වරද පටවනවා. රාත්‍රී නමය වගේ වෙලාවක ගැහැණු ළමයා පාරේ ගිය එක වරදක් ලෙස ඉස්මතු කරනවා.

කොහොම හරි ජන විඥ්ඥානය අවදි වීමෙන් ජනතාව ගේ  දැඩි උද්ඝෝෂණ හමුවේ අපරාධකරුවන් කිහිප දෙනෙකුට මරණ දඬුවම හිමි වූ බව ඔබ දන්නවා. එසේ මරණීය දණ්ඩනය නියමවූ  අපරාධ කරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පිළිතුරු දෙන්නේ මෙහෙම .....

ප්‍රශ්නය : ඔබ ඇයි මේ වගේ දෙයක් කරන්න  පෙළඹුණේ ?
අපරාධකරු : 'මං දන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා. දැන් ඒක වෙලා ඉවරයි '
ප්‍රශ්නය : 'ඒක ඔබ කළ වරදක් නේද ?'
අපරාධකරු : 'මගේ විතරක් වැරැද්දක් වෙන්නේ කොහොමද ? ඒක ගැහැණු ලමයගේත් වරද . ඒක ඒ වෙලාවේ වෙන්න තිබුණා'
ප්‍රශ්නය : 'ඔබ දුෂණය කළ නිසා නේද ඇය මැරුණේ'
අපරාධකරු: 'කවුරුත් දවසක මැරෙනවා. ඉතින් ඇය එදා මැරුණා'
ප්‍රශ්නය:  'දැන් ඔබ එහෙම වීම ගැන කණගාටු වෙනවද පසුතවෙනවද'
අපරාධකරු:  'නෑ ඇයි මං පසුතැවෙන්නේ'
ප්‍රශ්නය:  'ඔබට ලැබුණු දඬුවම අනුව ඔබ එල්ලා මරනවා. ඒ ගැන මොකක්ද හිතෙන්නේ '
අපරාධකරු:  'ආ ..ඔවු එහෙම වේවි ...ඉතින් මාත් කවදා හරි මැරෙනවා නේ ? දැන් මේ විදියට මැරෙනවා.'

මේ අනුව දීපා මේතා පෙන්වා දෙනවා අපරාධකරුවන්ට බොහෝ විට හෘදය සාක්ෂියක් නැති බව. තව සාකච්ඡාවේදී එක මහත්මයෙක් අදහස් දැක්වුවා මෙහෙම.  ලංකාවේ කරන ලද අධ්‍යනයකදී වයස අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ මෙවැනි වරදකාරී පුද්ගලයන්ගෙන් 90%ක්ම තම වරද ගැන පසුතැවීමක් නොවන බව හෙළිවී තිබෙනවා කියලා. මේ අපරාධයට මෙසේ දඬුවම් නියම වුවත් 2012 - 2014 කාල සීමාව තුළ ඉන්දියාවේ මෙවැනි අපරාධ තෙගුණ වී ඇති බව දීප මේතා කියනවා.

දැන් පොදු ජන මතයක් තියෙනවනේ නඩු හරහා දඬුවම් නොලැබුවත් වරද කරපු පුද්ගලයා ඒ ගැන හිතමින් මැරීමැරී උපදිනවා කියලා ජීවත්ව ඉන්නකන්ම. මට හිතෙන්නේ බොදු දහම අනුව එහෙම ද්වේශ සහගතව හතුරා දෙස බලන්න බැරි උනත් මිනිස්සු එහෙම හරි අපරාධ කරුට හිතෙන් හරි දඬුවමක් ලැබෙනවට සතුටු වෙනවා කියලා . නමුත් එය එසේ නොවෙන බව නේද පෙන්නේ. ඔවුන්ට එහෙම පසු තැවීමක් නැහැ. ඔවුන් ආපසු සුපුරුදු ජීවිත ගත කරනවා. දෙවන තෙවන වරටත් අපරාධ කරනවා.

ආයෙත් මිනිස්සුන්ට  හිත හදාගන්න ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ  තමයි බොදුනුවන් ට අනුව අපරාධ කාරයා කළ පාපයට කර්මානුරුපව මේ ආත්ම භවේදී හරි ඊළඟ ආත්ම භවයක දී හරි දඬුවම් ලැබෙන බව. වෙනත් ආගම් අනුව දෙවියන් වහන්සේ ලඟට ඔවුන්ට යන්න බැරි වෙන බව.

තව මහත්මයෙක් කිව්වා මේ අපරාධ බටහිර රටවල නැහැ, මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල්වල තමයි තියෙන්නේ කියලා. එයට ප්‍රති උත්තර දුන් බටහිර නියෝජිත වරිය කිව්වේ ' නැහැමේවා ලොව පුරා සිදුවෙනවා. ලංකාව වගේ කුඩා රටක එහි ප්‍රතිශතය වැඩිබව ඇත්ත' කියලයි.
සාමාන්‍යයෙන් පුරුෂ මූලික සමාජයේ පුරුෂයාට බලයක් හිමිකර දී තිබෙනවා,කාන්තාවට  හෝ තමාට වඩා දුර්වල පිරිමියෙක්ට හෝ පිරිමි දරුවෙක්ට හෝ තම යම් යම් පීඩන මුදා හැරීමට. එසේ කිරීම ලොකු වරදක් කොට දකින්නේ නැහැ. පිරිමි ගතිය කියල සාධාරණීය කරනවා. පිරිමි ළමයෙක් මෙවැනි ලිංගික අතවරයකට ලක් වුනොත් ඔහු ලොකු වී බලය ලැබුනහම වෙනත් තමන්ට වඩා දුර්වල කෙනෙක් හමුවේ තම පීඩනය මුදා හරිනවා. මෙය ලිංගික ක්‍රියා වලටම සීමා වෙන්නේ නැහැ. කාර්යාලයක,වැඩබිමක ඉහල තනතුරක් ලැබූ ඇතැම් කෙනෙක් ,පහළ තනතුරු දරණ පුද්ගලයන්ට අසාමාන්‍ය විදියට සැර වැර කරනවා, තරවටු කිරීම් කරනවා.

ලෝකයේ සියල්ල ඉතා සන්සුන්ව සිදුවන රටවල් නැති වුවත් සාපේක්ෂව  අපරාධ අඩු රටවල් තිබෙනවා. නමුත් අපරාධ බහුල වීමට දරිද්‍රතාවය හේතු වන බවත් සමාජ අසාධාරණය වැඩිවී ඇති නැති පරතරය වැඩිවීම අපරාධ රැසකට මුල බවත් අපගේ දේශපාලන දැනුම අනුව පෙනී යනවා. මේක විෂම චක්‍රයක් විදියට ප්‍රාග් ධනය විසින් හසුරුවනු ලබනවා.

මල් වගේ කුඩා දරුවන් මේ විෂම ලෝකය තුළ ඉතාමත් පරිස්සමින් රක බලා ගන්න කියල කියන්න ඕන. අනතුර අත ළඟ වෙන්න පුළුවන්.ඈත වෙන්න පුළුවන්. හැමතැනම අනාරක්ෂිත බව බිහිසුණු නපුරු  රාස්සයෙකු වගේ සැඟවී දත් විලිස්සාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා කියලා මේ සිනමා පටිය ඔබට කියා දෙනවා

මේ හැර අපරාධ කිරීමට පෙළඹීම් ඇති කරන ජානමය පදනමක් ද ඇති බව කියවෙනවා. නමුත් පුද්ගල චර්යා ජාන මෙන්ම පරිසරය අනුවත් තීරණය වන බැවින් පුද්ගල සමාජානුයෝජනය කුඩා කල සිට ආදරය,රැකවරණය ද සමග ආහාර, නිවාස ,අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා සම්පුර්ණ වන පරිසරයක් තුළ සිදුවිය යුතු බව අවසාන වශයෙන් කියන්න පුළුවන්. එවන් ලොවක් බිහිවේවා යන්න මගේ පැතුමයි.

(ඡායා රුපය චිත්‍රපටියේ රුපරමුවක්....අන්තර්ජාලයෙන් )





Saturday, March 2, 2019

Homemade Chocolate with Cocoa beans......


Homemade Chocolate with Cocoa beans......


මේක අහම්බ සිදු වීමක්...තාත්තාට (අපේ මහත්තයට ) පන්සලේ හාමුදුරුවෝ කොකෝවා  ගෙඩි කීපයක් දීල තිබුණා . ඉතින් මේවා ඔහේ කුස්සියේ දින ගණනක් තිබුණා. ඇට වල වටේ ලොඳය පැණි රස නිසා ඒක සූප්පු කරලා ඇට ටික විසි කරලා දාන්නයි කල්පනා කළේ. ඉතින් තාත්තා කිව්වා ඔය ඇට වලින් ප්‍රයෝජනයක් ගන්න බැරිද කියලා. මටත් උනන්දුවක් ඇතිවෙලා අන්තර්ජාලයේ චොකලට් හැදීම ගැන පුළුවන් තරම් බැලුව. u tube video බැලුවා.
ඒ අනුව කොකෝ ඇට වේළුව ඉස්සෙල්ලම. ඊළඟට ඒවා කබලේ බැද්දා. කෝපි වගේ. දැන් අතින් පොතු ගැලෙව්වා. ආපහු බැද්දා. හැබැයි මගේ අතින් ටිකක් වැඩි පුර කර වුණා. grinder එකේ කුඩු කළා. ඇත්තටම කුඩු නෙමේ ලැබෙන්නේ තෙල් නිසා පාප්ප වගේ උකු තද දුඹුරු පාට දෙයක්. මේක 50g වලට විතර මෙන්න මේ දේවල් එකතු කළා.
උකු කිරි ටින් එකක කිරි
පිටි කිරි මේස හැඳි 3
සීනි මේස හැඳි 4
වතුර ස්වල්පයක් (කිරි ටින් එක සෝදා ගත්තු)
කුරුඳු පව්ඩර් තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
මේ සේරම සාස් පානක දාල ලිප  තියලා සීනි දියවී තරමක් උකු වෙනකම් හොඳින් කූරු ගාමින් රත් කරලා, අර කොකෝ තලපයත් ඒකට දාලා තවත් ටික වෙලාවක් කූරු ගාල ලිපෙන් බෑවා. ice tray එක හොඳින් තෙත ඉවත් වෙන්න පිස දාල තෙල් ස්වල්පයක් ගැව. දැන් චොකොලට්  හැන්දකින් අරන් එක එක කොටුව පිරෙව්වා. ශීත කරණයේ පැය කීපයක් තියල ගත්ත. පොඩ්ඩක් කර රසයි. පළවෙනි සැරෙනේ ...ඊළඟ සැරේ හරියට හදනවා. අපේ පොඩි කෙල්ලෝ දෙන්නා හයි වෙන්න කලීන්ම කෑවා ...එකයි පින්තූරේ කෑලි කීපයක් අඩු ...