Monday, April 20, 2020

ගල්කිස්සේ මුහුදු වෙරළ


















(පුවතක් - ගල්කිස්සේ හෝටලය අසල වෙරළේ ස්වභාවික පරිසරය  විනාශ කෙරේ)


මුහුදු වෙරළක් තිබුණි නම් එය
වෙන එකක් නොව මේකමයි එය
ගණන් කරනට බැරි තරම් ලොකු
වාර ගාණක් ඇවිදගෙන ගිය

වරෙක සරසවි සිසුවියක් ලෙස
 මුහුදු ඇල්ගේ එකතු කරගෙන
වරෙක ගුරු භුමිකාවේ හිඳ
වසර ගණනක් සිසුන් අරගෙන

'මෙන්න  ළමයිනි  හරිත ඇල්ගේ
 මෙන්න භංගුර තාරකාවෙක්
මෙන්න මේ ගල් පොකුණු අස්සේ
ඉකිරියොත් ඇති බලාගෙන පය'

ආයේ පරිසර මිස් ලෙසින් මම
සිසුන් අරගෙන අනවසරවම
වෙරළ බඩ පරිසරය පෙන්වූ ..
වෙරළෙ වටිනා කම ඉගැන්වූ

ඉගෙන ගත් දෑ නිමක් නැත මෙහි,
ඉගැන්වූ දෑ නිමක් නැත මෙහි,

ඊළඟට අපි දරුවො අරගෙන
වරු ගණන් මෙහි වතුරෙ බැහැගෙන
ගොඩට ගන්නට සටන් කරගෙන
ගෙවුණු කාලය  මතක් කරගෙන

වැල්ලෙ වැතිරී වැලිත් නාගෙන
ආයේ ලුණු වතුරෙනුත් නාගෙන
ඔවුන් වැලි මාලිගා සැදු
මේ වෙරළ දැන් නැතුව ඇති එහි

කොළ පාට,රතු දුඹුරු ඇල්ගේ
ඉකිරි පසැගිලි ,මුහුදු බළලුන්
අනේ යටවී යන්න ඇති ඒ
නපුරු දැති ඇති යකඩ යකෙකුට

වැලිගොඩක් විතරයි එතන දැන්
තිබුණු ලෝකය මතකයක් නම්
ඒක සිහිනෙන් ගෑව සුවඳක්
වගේ ගෙන එයි නෙතට කඳුලක්....


©Malini Ganewatta

Photo by Uwe Jelting on Unsplash

Thursday, April 16, 2020

මද පවනක් ව අම්මා අප අතර ඇති

Image may contain: one or more people and people standingImage may contain: one or more people and people standing


අප්‍රේල් මස 17 වෙනිදට මගේ මව මියගොස් වසර නවයක් සම්පුර්ණ වෙනවා. මේ කවි පෙළ මං ලිව්වේ ඇගේ තෙමස් පුර්ණ සිහිකිරීමේදී. ලෝකයම දරුණු තත්වයකට මුහුණ දීල මෙහෙම නිවෙස් තුළට කොටුවී ඉන්න වෙලාවේ අතීත සැමරුම් තුළ මෙය නැවත නෙත ගැටුණා. ඇත්තෙන්ම මෙය අප ජීවත් වෙනකම් විතරක් තියෙන මතකයන් සමුදායක් විතරයි. අපෙන් පස්සේ, අපේ දරුවන්ගෙන් පස්සේ මේ සේරම අතීත වැලි තලාවට යට වෙනවා. අපේ මුණුපුරෙක්,මිණිපිරියක් සමහර විට දවසක මේ දේවල් හොයන්න ඉඩ තියෙනවා. අම්මා මී මිණිපිරිය, චමත්කා  දකින්නවත් ජීවත් වුණේ නැහැ. දැන් මී මුණුපුර පරපුර පස් දෙනෙකුගෙන් සමන්විතයි. මී අත්තම්මා හිටියනම් හුගක් සතුටු වේවි.


බක් මස පුන් පෝය සඳ  නැග එන                                       තෙක්ම
අවුරුදු අනුවක්  සහ දෙමසක්                                                 ඉක්ම
දිවි මග ගෙවා විඳ සැප දුක්  හැම                                           කක්ම
අම්මා ගියා යන්නට අප හැර                                                නික්ම

තව දුරටත් ඉතින් ඔබ අප අතර                                             නැති
සිය දහසක් සුසුම් නැග හද දවයි                                             නීති
උණු කඳුලක් නැගී ඔබ සිහි කරනු                                          ඇති
ළඟ නැතුවත් ඔබ ළඟ උන් සුවඳ                                           ඇති

සෙනහස් ගඟුල කෝ අද කොතැන ද                                   අම්මේ
නැවතත් ඔබ දකින්නේ කවද ද                                            අම්මේ
දහසක් දනන් සිටියත් වටකොට                                           අම්මේ
මුළු සක්වළ ම අද මට පාළුයි                                               අම්මේ

රිවි කිරණක් ව අප හට  දුන් එළිය                                          ඇති
තරු කැල්මක් ව අප වෙත නෙත් හෙළනු                               ඇති
කිරි සුවඳක් දැනේ වැනුමට  වචන                                         නැති
මද පවනක් ව අම්මා අප අතර                                                ඇති

ගංඟාවක් වුණා සෙනෙහස්  ජලය                                          බෙදූ
මල් සුවඳ ක් වුණා සිල්වත්    සුපිරි                                           සිදු
මහ නුගයක් වුණා සිසිලස සෙවණ                                          සැදූ
ගල් පවුරක් වුණා නීති රැකවරණ                                            සැදූ

පැද යන විටදී අප නැගී ජීවිත                                               ඔරුව
පියතුම හැර ගියා ලොව නොසිතුව                                       විරුව
හබල අතට ගෙන ගමනට  මුල                                            පිරුව
ඔබ ගිය ගමන සිහි කළ හැක ගරු                                        සරුව

 අප සිවු දෙනා තුරුලට ගෙන                                          සනසාලා
දුක් කරදර තැවුල් සතුටින්                                               ඉවසාලා
ආ මග පැමිණි සැම බාධක                                              පිටුපාලා
සිප් සත ලබා දී අප සැම                                                  සරසාලා

දුක සැප ඔබ වින්ද ඒ දිගු දිවි                                            ගමනේ
පැවසු කතා යළි යළි රැව්දේ                                             සවනේ
අප පස් දෙනෙකු එකතුව ගිය  දිවි                                    ගමනේ
ඔබ නිදහස් වුණා අප තව මෙහි                                        රැඳුනේ

අම්මා ගඟකි ආදර  දිය                                             නොඉඳුල් ය
අම්මා සඳකි ඒ සඳ රැස්                                              සිහිලැල් ය
අම්මා මලකි මල් සුවඳ ය                                        නිකැළැල් ය
අම්මා මුළු ලොවයි ඒ ලොව                                      සුවිසල්   ය

දස මස කුස දරා අප බිහි කළ                                           අම්මා
ලේ කිරි කර පොවා අප හැදු වැඩු                                     අම්මා
මවත් පියත් දෙන්නම ඔබමය                                           අම්මා
අමා මහ නිවන් දැක සැනසෙනු                                        අම්මා!!!







                                         

Monday, April 13, 2020

වල්ගා තරු හා වසංගත -1



වල්ගා තරු පායා ඒම බිය ජනක කරුණක් බව පැරැන්නෝ විශ්වාස කළහ. මේ බියෙහි යම් සත්‍යයක් තිබීමට හැකි බවට  මෙරට ඒ සම්බන්ධ විද්‍යාඥයෙක් වන මහාචාර්ය චන්ද්‍ර වික්‍රම සිංහ හා Rhawn Joseph මතයක් ඉදිරිපත් කරති . ඒ Journal of Cosmology, 2010, Vol 7, 1750-1770. Journal of Cosmology.com May, 2010 හි පලකළ පර්යේෂණ පත්‍රිකාවක මෙසේ දක්වමිනි. නමුත් ඔහු ඉදිරිපත් කරන මතවාදය පර්යේෂණාත්මකව ඔප්පුකර පෙන්වූ දෙයක් නොවේ. තර්කානුකුල සාක්ෂි රැසක් දක්වයි.

පෘතුවිය මත ජීවය බිහිවුයේ කෙසේ ද යන්න පැහැදිලි කරන මතවාද කිහිපයකි.

1. මැවීම් වාදය
2. ස්වයං සිද්ධ ජනන වාදය
3. කොස්මොසොයික් වාදය
4. ජෛව රසායනික පරිණාම වාදය

මෙයින් මැවීම් වාදය ප්‍රතික්ෂේපිත වුවකි.  ස්වයං සිද්ධ ජනන වාදය  පර්යේෂණාත්මකව බිඳ දැමු එකකි. කොස්මොසොයික් වාදය  ජීවය මෙහි පැමිණියේ අභ්‍යවකාශයෙන් බව කියයි. ජෛව රසායනික පරිණාම වාදයට අනුව අතීතයේ යම් කාල වකවානුවක ජීවය මෙහිම ජෛව රසායනික විපර්යාස මගින් ඇතිවූ බව කියයි. පර්යේෂණාත්මක සාක්ෂි ද මෙයට ඇත. අපි ජීව විද්‍යාවේදී මේ වාදය පිළිගනිමු.

ඉහත වල්ගා තරු ගැන මතය දක්වන මහාචාර්ය වික්‍රමසිංහ කොස්මොසොයික් වාදය පිළිගන්නා බව පෙනේ.

ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවේ ලෝකයේ වරින් වර ඇතිවූ වසංගත කිහිපයක් දක්වා තිබේ. එකක් මහාමාරිය රෝගයයි. එය ඇති කරන්නේ Yersinia pestis  නම් බැක්ටීරියාව මගිනි. මෙය නිර්වායු පුර්ණ පරපෝෂී බැක්ටීරියාවකි. එයට ධාරක සෛලයක් නැතිව පැවතිය නොහැකිය.
මුල් වසංගතය 430 BC හිදී ඇතන්ස් හි ඇතිවිය. ඉන් පසු එය ලොව පුරා තැන්වල පැතිරී ගොස් පසුව අතුරුදහන් විය. ඉන්පසු ක්‍රි.ව. පළමු සියවසේදී ලිබියාව,ඊජිප්තුව හා සිරියාව යන රටවල Bubonic නමින් මහාමාරිය නැවත ඇති විය මෙය Yersinia pestis මගින් ඇතිවන බව සොයා ගන්නා ලදී. මීයන්ගේ මැක්කන් මෙහි වාහකයන් ලෙස ක්‍රියා කරන ලදී. නමුත් එතෙක් නැතිව තිබු බැක්ටීරියාවේ ප්‍රභවය කුමක් ද ? මෙය වල්ගා තරුවකින් ආවේය යන මතයක් සටහන් වී තිබුණි.

අඩ සියවසකට පසු Plague of Justinian නම් මහාමාරිය 541-542 AD හිදී ඇති විය.

Yersinia pestis  නිර්වායු පුර්ණ පරපෝෂිතයෙක් නම් රෝගය නැති කාලයේ එහි පැවැත්ම කෙසේ වීද ?Justinian plague (6th to 8th centuries), the Black Death (14th to 19th centuries) and modern plague (21st century) වශයෙන් මිනිසුන් විශාල සංඛ්‍යා මරණයට පත් කල Yersinia pestis මගින් ඇතිවන මහාමාරිය වසංගතය ලෝකයේ නැවත නැවත ඇති විය. මේවා නිර්වායු, හිමමිදීමට ඔරොත්තු දෙන ඒවා බවත් ඈත අභ්‍යවකාශයේ දී වෙනත් බැක්ටීරියා වලින් ජාන ලබාගෙන ආසාදක තත්වයට පත්වන බවත් දක්වා තිබේ.

ඈත අභ්‍යවකාශයට ක්ෂුද්‍ර ජීවීන් පැමිණියේ කෙසේ ද?

ඉහළ වායු ගෝලයේ ක්ෂුද්‍ර ජීවීන් ඇති අතර ඔවුන් විකිරණයට පවා ඔරොත්තු දේ. එමෙන්ම එහි ඇති වියළි ,අධික ශීත,ඔක්සිජන් නැති  තත්වයන්ට ද ඔරොත්තු දේ.  උල්කාපාත වේගයෙන් පොළව කරා ඒමේදී මුලින්ම මධ්‍ය ගෝලයෙන් වායුගෝලය හා ගැටී කැබලි වීම ඇරඹේ. එසේ නම් මේ ඉහළ වායු ගෝලයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් වල ප්‍රභවය එවැනි ගැටීම් වලදී නිදහස් වන උල්කා කොටස් හෝ වෙනත් අභ්‍යවකාශ සුන්බුන්  ද ?
නැතිනම් පෘථිවියෙන් ම ඉහළට ගිය ඒවා ද ? කුණාටු, යමහල්, මෝසම් ආදී ක්‍රියාකාරිත්වයන් හා විශාල උල්කා ගැටීම් වලින් විසිවී යන ද්‍රව්‍ය ඉහළ වායු ගෝලයට ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකිය. අභ්‍යවකාශයෙන් පතිත විය හැකිය. එමෙන්ම අභ්‍යවකාශ ජීවීන් පෘථිවි ජීවීන් සමග ජානමය ද්‍රව්‍ය හුවමාරු කර ගත හැකිය. තවද මේ ජීවීන්ගේ ගෙනෝම  UV විකිරණය නිසා විකෘති වීමට ද පුළුවන. එසේ වී ඒවා පෘථිවි ගස් වැල් ,සතුන් හා මිනිසුන්ට ව්‍යාධි ජනක විය හැකිය.

1918 ඇතිවූ මිලියන 100කට අධික සංඛ්‍යාවකට මරණය ගෙන දුන් ඉන්ෆ්ලුවන්සා ව එසේ පැරණි හා නව වයිරස එකතු වීමකින් සෑදුණු එකක් බව කයිමිරාවක් බව සොයාගෙන තිබේ.මෙය මුලින්ම පක්ෂීන්ට සැදුණ නිසා එහි ප්‍රභවය ද අහසය,

මහමාරියේ පැතිරීමද මිනිසුන්ගේ ගැන මාර්ග වලට වඩා සුළං ධාරා සමග සම්බන්ධයක් පෙන්වා තිබේ.

මේ පර්යේෂණ පත්‍රිකාවේ, 20 වන සියවසේ  මිලියන 500කට මරු කඳවු  වසුරියේ කාලාන්තර අනුව පැතිරීම  පැහැදිලි කිරීමට ද මේ අභ්‍යවකාශ සම්භවය ගැන කරුණු ඇතුලත් කර තිබේ. එම රෝගයට හේතුවූ වැරියෝල වයිරසය ද විකිරණ ප්‍රතිරෝධී, විජලනයට හා අධික ශීතල ට ඔරොත්තු දෙන එකකි.

1519 දී මෙක්සිකෝවට ඉහළින් වල්ගා තරුවක් පායා තිබේ. එම අවුරුද්දේම මහාමාරිය ඇතිවී මහද්වීප දෙකක ස්වදේශීය ජනතාව මිලියන ගණනක් මියගොස් තිබේ. මෙහිදී වල්ගා තරුවේ බලපෑමක් නොවන්නට ඇත. Cortez,සොල්දාදුවන් සමග මෙක්සිකෝවට පැමිණීමේදී රෝගය ගෙන එන්නට ඇත. නමුත්  Aztec පුජකයන් විශ්වාස කළේ  Cortez,වල්ගා තරුව හා රෝගය දෙවියන් එවූ බවයි. (Hernan Cortés මෙක්සිකෝවේ Aztec අධිරාජයා පරාජය කළ තැනැත්තා )

1680 නොවැම්බර් සිට 1681 පෙබරවාරි දක්වා නවසීලන්තයේ අලුයම අහසේ වල්ගා තරුවක් පැයුවේය. Mather නම් පූජකයා "Heaven's Alarm to the World" ලෙස ප්‍රකාශ කළේය. 1682 දී තවත් වල්ගා තරුවක් පැයුවේය .එය 'Tokens of God's Anger', ලෙස දැක්වීය.

වල්ගා තරු කිලෝමීටර් 20 සිට 300 පමණ දක්වා විශාලත්වයෙන් යුතු වෙයි. NASA දක්වන පරිදි Comet Tempel 1  හි මිදුණු විල්, මැටි ,කාබනික ද්‍රව්‍ය හා ජලය එයින් නිකුත්වූ ද්‍රව්‍ය අතර ඇත . එහි ඇති කාබනික ද්‍රව්‍ය ජීවීන්ගේ නොවේ යයි පැවසීමට හේතුවක් නැති බව වික්‍රමසිංහ කියයි. ක්ෂුද්‍ර ජීවීන් අක්‍රිය තත්වයෙන් හෝ එහි මැදට වන්නට සිටින්නට පුළුවන.

වල්ගා තරුව සූර්යාට ළඟා වන විට එහි මතුපිට හිම වාෂ්ප වීමට පටන් ගනී. එවිට වල්ගා තරුව කාබනික ද්‍රව්‍ය, සිලිකේට් අංශු,හා අයනීකරණය වූ වායු නිකුත් කරයි. එයින් වලිග දෙකක් සෑදේ . ප්ලාස්මා වලිගය හා දූවිලි වලිගය වශයෙනි. මේවා කිලෝමීටර් ගණන් දිගින් යුක්තයි. සමහර විට වල්ගා තරුවේ කැබලි කැඩී සුර්යා වටා කක්ෂ ගතවේ. 2001 Comet Linear හි හා 2006 Comet Schwachmann- Wachmann හි මෙසේ වී තිබේ. මේ කැබලි උල්කා හා ඇස්ටරොයිඩ් ලෙස එකතුවේ . වල්ගා තරු වල වලිගය පෘථිවි කක්ෂය හරහා යාම අසාමාන්‍ය දෙයක් නොවන අතර ඒවායේ කුඩා කැබලි දැල්වී "shooting Stars" ලෙස හෝ උල්කා ලෙස පොළවට පතිත වේ. ඇතුළත ජීවී දෙයක් වේ නම් එය ආරක්ෂාවී, පිටත තුනී තට්ටුවක් පමණක් දහනය වී විශාල උල්කාපාත පොළවේ පතිතවේ. 1910 Halley ගේ වල්ගා තරුව පැයු විට මෙසේ සිදු විය. විවධ ආලෝක ධාරාවන් නිකුත් කරමින් වල්ගා තරුවේ ද්‍රව්‍ය රාත්තල් මිලියන 200ක් පමණ පොළොවට එකතු විය. ඒවා සමග ජීවීන් සිටින්නට ඇත. සමහර ජීවීන් තරුවේ ක්ෂුද්‍ර කැබලි සමග වායු ගෝලයේ නොගැටී නොදැවී පසුව වායු ගෝලයේ ඉහළ ස්ථරයේ පතිත වන්නට ඇත. වසර ගණනාවක් තිස්සේ මේවා සුළං ධාරා සමග ක්‍රමයෙන් මුහුදු ගංගා , ගස් සතුන් මිනිසුන් මත පතිත වෙමින් තිබෙනවා වන්නට පුළුවන. මේවා වැටෙන යම් ප්‍රථම ධාරකයෙක් මුලින්ම රෝගයක් ඇති වෙන තැනැත්තෙක් වී ඔහුගෙන් රෝගය පැතිරී යාමට පුළුවන. මුලින්ම අහසේ පියාඹන පක්ෂියෙක් හෝ කෘමියකු මේ ග්‍රාහකයා වීමට ඉඩ තිබේ. සමහර විට වායු ධාරා සමග ඇදී ගොස් විශාල භුමි ප්‍රදේශයක පැතිරී යන්නට පුළුවන.

(මෙහි ඇත්තේ පර්යේෂකයන්ගේ මතය මිස  ලේඛයාගේ අදහස් නොවන බව සලකන්න.ඉතිරි කොටස් පසුව දක්වමි.)

Photo by Nick Owuor (astro.nic.visuals) on Unsplash
Ref. http://journalofcosmology.com/Panspermia10.html

Friday, April 10, 2020

ප්‍රතිශක්තිය - 4 (අවසාන කොටස )



මව් කිරි ඔබේ දරුවා ආරක්ෂා කරයි. 
                                 

විශිෂ්ඨ ආරක්ෂක යාන්ත්‍රණය නැත්නම් නතුකරගත්(පරිචිත) ප්‍රතිශක්තිය වර්ග හතරකට බෙදෙන්නේ මෙහෙමයි. මුලින්ම දෙකට බෙදෙනවා

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය (Active Immunity)
2.  අක්‍රිය  ප්‍රතිශක්තිය Passive Immunity)

මේ දෙක යටතේ ස්වභාවික සහ  කෘත්‍රිම කියල ආපහු බෙදෙනවා.

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Active Immunity )
b ) කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය  (Artificially  Acquired Active Immunity)


2. අක්‍රිය ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Passive Immunity)
b ) කෘත්‍රිම  පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Artificially Acquired Passive Immunity)

අද විස්තර කරන්න යන්නේ අක්‍රිය ප්‍රතිශක්තිය ගැන. සක්‍රිය ප්‍රතිශක්තියේදී ඒ පුද්ගලයාගේම ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසාමයි ප්‍රතිශක්තිය ඇතිවන්නේ. නමුත් අක්‍රිය ප්‍රතිශක්තියේදී වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයේ හැදුණු ප්‍රතිදේහ (ඉමියුනෝ ග්ලොබියුලින් ) ලබාදීමෙන් තමයි ප්‍රතිශක්තිය ඇති කරන්නේ. මෙහිදී ඇතිවන ප්‍රතිශක්තිය කෙටි කාලීන එකක්. 

a ) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Passive Immunity)

මෙහි දක්වන ආකාරයට මේ ප්‍රතිශක්තිය ස්වභාවිකව ඇතිවෙන්නේ. මේක ඇතිවන විදි දෙකක් තියෙනවා.
1. දරුවෙක් මවු කුස ඉන්න කාලෙදි මවගේ ශරීරයේ ඒ වන විට හැදිලා තියෙන ප්‍රතිදේහ මවගේ  සිට කළල බන්ධය හරහා දරුවට විසරණය වීමෙන්. මවට පිටගැස්ම එන්නත දීමෙන් මවගේ සිරුරේ ප්‍රතිදේහ ඇතිකරහම ඒවත් කළලයට ලැබෙනවා. මේවා කළලයට ලැබෙන්නේ තුන්වන ත්‍රයි මාසිකයේදී . ඇත්තටම එවිට කළලය නෙමෙයි කියන්නේ භ්රුණය කියල. 
2. උපතින් පස්සේ මවු කිරි විශේෂයෙන්ම මුල් කිරි (රන් කිරි) වල තියෙන කොලේස්ට්‍රම් ප්‍රතිදේහ වලින් පොහොසත්.  

කෙසේ නමුත් දරුවට මාස හයක් විතර යන විට මේ ප්‍රතිශක්තිය අඩු වෙලා යනවා. පොඩි දරුවන් දෙවියන් ආරක්ෂා කරන නිසා බෝවන රෝග හැදෙන්නේ නැතැයි කියන්නේ මෙන්න මේ ප්‍රතිශක්තියෙන් දරුවන් ආරක්ෂා වීමයි. 

b ) කෘත්‍රිම පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Artificially Acquired Passive Immunity)
මෙහි නමෙන් දැක්වෙන විදියට මේ ප්‍රතිශක්තිය ඇතිකරනු ලබන්නේ කෘත්‍රිමව ඒ කියන්නේ වෙනත් ප්‍රභවයකින් ලබාගත් නිමි ප්‍රතිදේහ රෝගියාට එන්නත් කිරීමෙන්. මේ සඳහා උදාහරණ දෙකක් දක්වන්නම්.

a ) Rabies Immunoglobulin 

මෙහිදී අශ්වයින්ගේ හෝ මිනිසාගේ ශරීරයේ නිපදවන ලද නිමි ප්‍රතිදේහ රෝගියාට රෝහලකදී පමණක් ලබා දෙනවා. එසේ කරන්නේ රෝගියාට ජලභීතිකාව වැළඳුනේ යයි සැක සහිත සතෙක් සපා කෑමෙන් අනතුරුවයි. 
(මේ හැර මේ අවස්ථාවේදී ම රෝගියාගේම සිරුරේ ප්‍රතිදේහ සෑදෙන කෘත්‍රීම ක්‍රමයට අයත් එන්නතත් ලබා දෙනවා. එයින් ප්‍රතිදේහ සැදෙන්න කලක් ගතවන නිසා තමයි මුලින්ම නිමි ප්‍රතිදේහ ලබා දෙන්නේ. ඒ කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය )

b) Tetanus Immunoglobulin     

පිටගැස්ම සෑදීමට ආසන්න සැක සහිත අවස්ථාවකදී මේ නිමි ප්‍රතිදේහ රෝහලකදී ලබා දෙනවා. (ඔබ කටුවක් /යකඩ ඇණයක් ඇනුනහම දුවගෙන ගිහින් ගන්නේ නම් මේ නිමි ප්‍රතිදේහ නෙවෙයි. Tetanus toxoid එකයි. ඒ මගින් ඔබේ සිරුරේම ප්‍රතිදේහ ක්‍රමයෙන් වර්ධනය වෙනවා.  ඒ කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය )

දැන් ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ කොහොමද කියන එක ඔබට පැහැදිලි කරන්නයි මන් මේ ලිපි පෙළින් බලාපොරොත්තු වුනේ. ඔබ හොඳ ප්‍රතිශක්තියක් වර්ධනය කර ගන්න නම් ශරීරයට මනා පෝෂණයක් ද ලබා ගත යුතු බව මතක් කරමින් මං නවතිනව.

Photo by Luiza Braun on Unsplash

©Malini Ganewatta

Wednesday, April 8, 2020

ප්‍රතිශක්තිය - 3




















විශිෂ්ඨ ආරක්ෂක යාන්ත්‍රණය නැත්නම් නතුකරගත්(පරිචිත) ප්‍රතිශක්තිය වර්ග හතරකට බෙදෙන්නේ මෙහෙමයි. මුලින්ම දෙකට බෙදෙනවා

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය (Active Immunity)
2.  අක්‍රිය  ප්‍රතිශක්තිය Passive Immunity)

මේ දෙක යටතේ ස්වභාවික සහ  කෘත්‍රිම කියල ආපහු බෙදෙනවා.

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Active Immunity )
b ) කෘත්‍රිම පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය  (Artificially  Acquired Active Immunity)


2. අක්‍රිය ප්‍රතිශක්තිය

a ) ස්වභාවික පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Naturally Acquired Passive Immunity)
b ) කෘත්‍රිම  පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය (Artificially Acquired Passive Immunity)

1.  සක්‍රිය  ප්‍රතිශක්තිය

සක්‍රිය කියන එකෙන් කියන්නේ යම් පුද්ගලයෙක් තුළට ඒ ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ ඒ පුද්ගලයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසාමය කියන එකයි. මෙය ඒ ඒ රෝගකාරකයට විශිෂ්ඨ වූ B සහ T  memory සෛල මගින් ඇතිකරන්නක්. මෙය ඇති වෙන විදි දෙක සළකා බලමු.


a ) ස්වභාවික පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය

ඔබට පැපොල රෝගය වරක් වැළඳුනා නම් ඔබේ ශරීරයේ ඒ සඳහා මේ ප්‍රතිශක්තිය ඇති වෙලා එය ජීවිත කාලයම තියෙනවා. ඉතින් ඔබට නැවත ඒ රෝගය හැදෙන්නේ නැහැ. සරම්ප, කම්මුල්ගාය, වසුරිය වගේ අනික් රෝග වලටත් ඒ වට අදාළව ප්‍රතිශක්තිය ඇති වෙනවා. නැවත එම රෝග කාරක ශරීර ගත වුනහම ශරීරය ඒවා හඳුනාගෙන පහර දී විනාශ කරනවා.

b ) කෘත්‍රිම  පරිචිත සක්‍රිය ප්‍රතිශක්තිය

වෛද්‍ය විද්‍යාව ඉහත ක්‍රියාවලියම රෝගය පුද්ගලයෙකුට හැදෙන්නේ නැතුව, ප්‍රතිශක්තිය පුද්ගලයාගේ ශරීරය තුළ ඇතිකරන්න ක්‍රමයක් හොයා ගන්නවා. මෙහි පළමු අවස්ථාව වන්නේ 1798 දී, එඩ්වඩ් ජෙනර් විසින් වසුරීයට එරෙහිව සොයාගත් එන්නත.


එන්නත් ක්‍රම 4 කට හදනවා.

1. අඩපණ කරන ලද (Attenuated Pathogen) රෝගකාරකය යොදාගෙන එන්නත් සෑදීම - මෙහිදී ඇතුළත් කරන රෝගකාරකය ජීවී නමුත් රෝගය හදන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණ විදියට 1. සරම්ප,කම්මුල්ගාය හා ජර්මන් සරම්ප සඳහා දෙන MMR එන්නත 2. පැපොල සඳහා දෙන එන්නත,  පෝලියෝ මුඛ එන්නත (Sabin Vaccine) 

2. මරණ ලද ( අක්‍රිය කරන ලද ) රෝගකාරකය ,මෙහිදී බැක්ටීරියා හා වයිරස වල ප්‍රෝටීන හෝ යම් කුඩා කොටස් යොදා ගනී. උදාහරණ හැටියට කක්කල් කැස්ස සඳහා දෙන එන්නත, Polio Salk Vaccine 

3. ධුලක එන්නත් (Toxoid)- රෝග කාරකයේ ඇති යම් ධුලක ද්‍රව්‍යක් යොදා ගැනේ. උදාහරණ විදියට ඩිප්තිරියා එන්නත හා පිටගැස්ම එන්නත 

4. ජෛව සංශ්ලේෂිත එන්නත් - මිනිසා විසින් නිර්මාණය කරන ලද රෝග කාරකයේ ඇති කොටසකට් සමාන ද්‍රව්‍යයක් යොදා ගැනේ. උදාහරණ විදියට හෙපටයිටිස් B එන්නත 

ඉතින් මේ එන්නත් මේ වන විට ඔබේ ශරීරගත කරලා ඇති. 1979 හා ඉන්  පස්සේ ඉපදුන අයට වසුරිය එන්නත දෙන්නේ නැහැ. එය දැන් ලෝකයෙන් තුරන් කරන ලද රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරලයි තිබෙන්නේ. අපි දෙවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ පෝලියෝ රෝගය පැතිරෙන්න පටන් ගත්තා. අපේ මිතුරු මිතුරියන්ටත් හදුනා. ඒ කාලේ පාසැලට වෛද්‍ය කණ්ඩායමක් ඇවිත් අපිට සීනි බෝලයක් විදියට පෝලියෝ එන්නත ලබා දුන්නා මතකයි. 

ඇතැම් දෙමාපියන් තම දරුවන්ට එන්නත් ලබා දෙන්නේ නැහැ. ඇමරිකාවේ වෛද්‍යවරියක් කිව්වා එන්නත් නොගන්න අය එන්නත් ගන්න අයගේ පිහිටෙන් රෝගවලින් බේරිලා ඉන්නවා කියල. එනම් සමාජයේ වැඩිපුර රෝගීන් නැති නිසා එහෙම එන්නත් ගන්නේ නැති පිරිසට රෝග බෝවෙන්න ඉඩක් නැහැ. නමුත් හුඟක් දෙනෙක් මේ විදියට එන්නත් ප්‍රතික්ෂේප කළොත් නැවත අයහපත් කාලයක් උදාවෙන්න පුළුවන්. දැන් මේ අලුත් SARS- CoV -2 වයිරසයට එන්නතක් හදන්න ලෝකයේ වෛද්‍යවරු/විද්‍යාඥයෝ උත්සාහයක නිරත වෙනවා. තාමත් HIV සඳහා එන්නතක් නැහැ.නමුත් ඒ සඳහා ගෙන යන උත්සාහය නතර කර නැහැ. 

©Malini Ganewatta

Photo by CDC on Unsplash

Tuesday, April 7, 2020

ප්‍රතිශක්තිය - 2




2. විශිෂ්ඨ ආරක්ෂක  යාන්ත්‍රණය - Specific Defense Mechanism 


දැන් අපි හිතමු අර කලින් විශිෂ්ඨ නොවන ආරක්ෂක යාන්ත්‍රණයේ රැකවල් ලා සිටි, අපි විෂබීජ වලින් ආරක්ෂා කරන්න හිටිය, භට හමුදාව පරද්දල යම් කිසි විෂබීජයක් අපේ ශරීරයට ඇතුල් වුණා කියල. අන්න දැන් තමයි මේ දෙවන යාන්ත්‍රණය ක්‍රියා කරන්න පටන් ගන්නේ.

මෙසේ ඇතිවන ප්‍රතිශක්තිය නතු කරගත් ප්‍රතිශක්තිය (Acquired Immunity)  යනුවෙන් හඳුන් වනු ලබනවා.

ඔබට සමහරවිට පැපොල රෝගය  වැළදිලා ඇති ජීවිතයේ යම් දවසක. ඉන් පස්සේ ඔබට සාමාන්‍යයෙන් නැවත ඒ රෝගය හැදෙන්නේ නැහැ. හැබැයි ඔබට සරම්ප රෝගය, කම්මුල් ගාය වගේ වෙන රෝගයක් නොහැදී තියෙන්නේ නැහැ පැපොල හැදුන කියල. මෙන්න මේක වෙන්නේ කොහොම ද කියන එක තමයි අද පැහැදිලි කරන්නේ.

මෙතැනදී එක එක රෝගයට විශිෂ්ඨ විදියටයි ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ. ඒකයි මේකට විශිෂ්ඨ ආරක්ෂක යාන්ත්‍රණය කියල කියන්නේ. මෙය ඒ ඒ පුද්ගලයා ඇතිකරගන්නා හෝ ඒ ඒ පුද්ගලයා තුළට කෘත්‍රිමව ඇති කරවන්න පුළුවන් තත්වයක්. ඒ නිසා නතුකරගත් ප්‍රතිශක්තිය (Acquired Immunity)  කියල හඳුන්වනවා.

මේක වෙන්නේ කොහොමද කියල බලමු. අපේ ශරීරයේ තියෙන සෛලවලට යම් සෛලයක් අපේ ඇඟේ ම එකක් (Self) කියල දැනගන්න ඒවායේ marker එකක් තියෙනවා. හරියට අපි පිටරට යනකොට ගමන් මළු අඳුන ගන්න පාට රිබන් එකක් ගැට ගහනවා වගේ. ඒ නිසා යම් සෛලයක් අනික තමන්ගේ (Self)
කියල අඳුන ගන්නවා. ඒ නිසා පහර දෙන්න එපා කියල ප්‍රතිශක්ති පද්ධතියට කියනවා.

යම්කිසි විෂබීජයක් අතුල්වුනහම ඒක තමන්ගේ නෙවෙයි(Non - self) කියල අඳුන ගත්තහම ප්‍රතිශක්ති පද්ධතිය එයට පහර දෙනවා. ඒ විෂබීජය කලින් ඇතුල්වුණු එකක් නම් ප්‍රතිශක්ති පද්ධතිය ඒක මතක තියන් ඉඳල ආයේ අලුතින් ඇතුල්වුණු හැටියෙ වඩාත් ඉක්මණින් පහර දෙන්න පටන් ගන්නවා.
මේ විශිෂ්ඨ ප්‍රතිශක්ති ප්‍රතිචාරය ක්ෂණිකව උත්තේජනය (Trigger) කරන්නේ ප්‍රතිදේහ ජනකයක් විසින්. මේ ප්‍රතිදේහ ජනක විෂබීජවල(රෝගකාරක) මතුපිට තියෙනව වගේම ඒවා ඒ ඒ විෂබීජයට විශිෂ්ඨයි. ඒ කියන්නේ ඒකට විතරක් තියෙන දෙයක්. ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රතිදෙහජනකයට ප්‍රතිචාර දක්වනවා දෙවිදියකට.

1. රෝගබීජයට කෙලින්ම පහරදෙන සෛල නිපදවීමෙන්.

2. විශේෂ ප්‍රෝටීනයක් වන ප්‍රතිදේහ නිපදවීමෙන්.

ප්‍රතිදේහ ප්‍රතිදේහ ජනකයට (විෂබීජයට ) ඇලිල සෛලවලට ඒවා ගිලදමා විනාශ කිරීම පහසු කරවනවා.

ප්‍රතිශක්ති පද්ධතියට අදාළ සෛල ලිම්ෆොසයිට කියා හඳුන්වනවා. ඒවා වර්ග දෙකක් තිබෙනවා.

1. B ලිම්ෆොසයිට
2. T ලිම්ෆොසයිට

B ලිම්ෆොසයිට හැදිලා පරිණත වෙන්නේ  ඇට මිදුළු වල .  T ලිම්ෆොසයිටත් හැදෙන්නේ ඇට මිදුළුවල වුණත් පරිණත වෙන්නේ තයිමස් ග්‍රන්ථියේ . ( තයිමස් ග්‍රන්ථිය වසා පද්ධතියට අයත් එකක්. පපු ඇටයට යටින් පිහිටනවා.)

මේ සෛලවල කාර්යයන් තරමක් සංකීර්ණයි. සරල විදියට කිව්වොත්  B සෛල තමයි ප්‍රතිදේහ හදන්නේ. ප්‍රතිදේහ වලට විෂබීජ අල්ල ගන්න පුළුවන්, හරියට ඒවා ඇණයකට ගැලපෙන අඬුවක් වගේ. ඒවා අල්ලා දෙන විෂබීජ සුදු රුධිරාණු වලින් ගිල දානවා.

T සෛල වර්ග 4ක් තියෙනවා.  ඒවා විවිධ කෘත්‍ය ඉටුකරනවා.

1. Helper T Cells - B සෛල වලට උදවු කරනවා.
2. Cytotoxic T Cells- වයිරස් වලින් ආසදනය වූ සෛල හා පිළිකා සෛල විනාශ කරනවා.අවයව බද්ධ කළහම ඒවා ප්‍රතික්ෂේප කරන්න ක්‍රියා කරනවා. ඒ නිසා අවයව බද්ධ කළ අයට T Cell suppress බෙහෙත් දෙනවා. ඒ නිසා එවැනි අයගේ ප්‍රතිශක්තිය අඩුයි.
3.  Memory cells - දිගු කාලයක් පවතිමින් ආපහු ඒ රෝග කරකයම ඇඟට ඇතුල් වුණොත් ඒවා හඳුනාගෙන විනාශ කරන්න උදව් වෙනවා.
4. Natural killer T cells -  අනිකුත් ප්‍රති ශක්ති ක්‍රියාකාරිත්වයන්ට උදවු වීම

HIV අසාදනය වෙන්නේ ලිම්ෆෝසයිට වලට. මේ නිසා AIDS  රෝගීන්ගේ ප්‍රතිශක්තිය දුර්වලවී ක්ෂය රෝගය වැනි වෙනත් බෝවන රෝග ඔවුන්ට ඇතිවෙනවා.

නතුකරගත් ප්‍රතිශක්තිය ප්‍රධාන ආකාර දෙකකටත් ඒ දෙක යටතේ දෙක බැගින් හතරකටත් බෙදෙනවා. ඒවා ඉදිරි ලිපි වලින් ....

මේ මාතෘකාව සංකීර්ණයි. මා සරල ලෙස දැක්වීමට උත්සාහ කලත් ඒවා තරමක් සංකීර්ණ බව ඔබට පෙනේවි.

©Malini Ganewatta


Sunday, April 5, 2020

ප්‍රතිශක්තිය 1





ප්‍රති ශක්තිය ප්‍රතිශක්තිය කියල අපි භාවිතා කලාට ඇත්තටම ඒ මොකක්ද කියන්න වැඩි දෙනෙක් දන්නේ නෑ. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද ?
දැන් අපි කවුරුහරි මැරුණම මොකද අපේ සිරුරට ඊළඟට වෙන්නේ? ඔවු උත්තරය හරි ...කුණුවෙලා යනවා. එතකම් ඒ කියන්නේ මැරෙන කම් කුනුවුණේ නැත්තේ ඇයි ? කුණුවෙන්නේ මොනවා නිසා ද ? කුණුවෙන්නේ බැක්ටීරියා දිලීර නිසා. එහෙනම් ජීවත්ව ඉන්න කොට අපි අවට බැක්ටීරියා,දිලීර නැද්ද? අර විදියටම තියෙනවා. ඒත් අපි කුණුවෙන්නේ නැහැ. ඒ අපේ ඇඟේ ඒ බැක්ටීරියා දිලීර එක්ක සටන් කරන්න ප්‍රතිශක්තිය තියෙන නිසා. අපි ප්‍රතිශක්තිය නැතිව ඉපදුනොත් මේ ලෝකේ පවතින්න බැහැ. එහෙම ප්‍රතිශක්ති ඌනතාවකින් පෙළුණු දරුවෙක් 1971 ඇමරිකාවේ උපදිනවා. ඔහුගේ නම David Vetter. ඔහු ප්‍රසිද්ධ වුණේ 'බුබුල තුළ ළමයා 'කියල. ඒ කියන්නේ ඔහු ඇතිදැඩි කළේ බුබුලක, ඒ කියන්නේ බැක්ටීරියා,දිලීර නැති පරිසරයක. ඒ කතාව වෙන දවසක කියන්නම්. අද කියන්නේ ප්‍රතිශක්තිය ගැන.

අපේ ඇඟේ ප්‍රතිශක්ති ආකාර දෙකක් තියෙනවා.

1. විශිෂ්ඨ නොවන ආරක්ෂක  යාන්ත්‍රණය -Non Specific Defense Mechanism 
2.. විශිෂ්ඨ ආරක්ෂක  යාන්ත්‍රණය - Specific Defense Mechanism 

අද පලවෙනි එක ගැන බලමු.

1. විශිෂ්ඨ නොවන ආරක්ෂක  යාන්ත්‍රණය
මෙය යම්කිසි එක රෝගකාරකයකට/බැක්ටීරියාවකට/ දිලීරයක්ට/ වයිරසයකට විරුද්ධව එකක් ඉලක්ක කරගෙන නෙවෙයි ක්‍රියා කරන්නේ. ඕනෑම ශරීරයට ඇතුල්වෙන ආගන්තුක දේකට විරුද්ධව ක්‍රියා කර එය පළවා හරිනවා. අපිව මුර කරනවා.


  • පළවෙනි පෙළ ආරක්ෂකණය 


මෙහි පළමු ආරක්ෂක භටයා තමයි අපේ සම. සම භෞතික බාධකයක් විදියට, තාප්පයක් විදියට කිසිම ජීවියෙකුට ශරීරයට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා.සමේ තියෙනවා සෙබම් කියල තෙල් වගේ දෙයක්.ඒ වගේම දහඩිය - මේවා ක්ෂුද්‍ර ජීවීන් පළවා හරිනවා.

 සම නැති තැන් එනම් මුඛය, නාසය, ශ්වසන මාර්ගය, ආහාර මාර්ගය, මෞත්‍ර ලිංගික මාර්ගය මේ තැන්  ශ්ලේෂ්මල පටලයකින් (සෙම/කෙල  පටලයකින් ) අපිව ආරක්ෂා කරනවා. ඇස් කඳුළු වලින් ආරක්ෂා වෙනවා. ඔබ මේ දහඩිය ,කඳුළු,කෙල ,සෙම පිළිකුල් කරනවා නේද ? බලන්න ඒවා අපිව ආරක්ෂා කරනවා.

තව කැස්ස, කිවිසුම මගින් ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්න හදන දේවල් ඉවත් කරනවා. ආමාශයට ගියොත් අපේ කෑම ,බීම එක්ක එහි තියෙන අම්ල මගින් විෂබීජ විනාශ වෙනවා. වමනය ඇති කරලා අනවශ්‍ය දේ පිට කරනවා. වයිරස් පලවා හරින්න රුධිරයේ ඉන්ටෆෙරෝන් කියල දෙයක් හැදෙනවා.


  • දෙවෙනි පෙළ ආරක්ෂණය 

මෙහිදී ඇතිවන විපර්යාස එකතුවට කියනවා ප්‍රදාහක ප්‍රතිචාරය කියල. 


අර පළවෙනි පෙළ භට හමුදාව පරදවල සතුරෙක්, විෂබීජයක් ශරීර ගත වුනොත් මෙන්න මේ දෙවැනි පෙළ ආරක්ෂණය ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු සම තැනක සීරීමක් ඇති වුනාය කියල . ඔන්න එතන රුධිර නාල පළල් වෙනවා. ඒ නිසා තුවාලය තියෙන තැන රතු වෙනවා. රුධිරය ඒ අසලට ගලා ගෙන එනවා. සුදු රුධිරාණු මහා හමුදාවක් වගේ රුධිර නාල වලින් එළියට එනවා.විෂබීජ ගිල දානවා. මැරුණ විෂබීජ, සෛල එකතු වෙලා හැරව හැදෙනවා. පටක තරලය එතැනට එකතු වෙනවා. ඒ නිසා ඉදිමෙනවා. මේ යුද්ධය නිසා එතැන ස්නායු තෙරපෙනවා. ඉතින් අපට වේදනාව දැනෙනවා.

තව දෙයක් තමයි විෂබීජ ශරීර ගත වුනහම විශේෂ රසායනික ශ්‍රාවය කරනවා ශරීර උෂ්ණත්වය වැඩිකිරීම සඳහා. ඒ කියන්නේ උණ ගන්නවා. එහෙම උණුසුම වැඩි උනහම විෂබීජයේ වර්ධනය අඩු කැරෙනවා. එක සැරයක් මං උණට බෙහෙත් ඉල්ලුවහම මට වේද මහත්තයෙක් කිව්වා, ඔයා පොඩි ළමයෙකුත් නෙවේ නම් ඇඟේ උණ ටිකක් තිබුණහම මොකද ? උණෙන් ලෙඩේ අඩු කරනවා කියල. හැබැයි පොඩි දරුවන්ට උණ වැඩිවීම හොඳ නෑ . උණ වලිප්පුව ඇතිවෙන්න පුළුවන්.


 මේ ඔක්කොම විපර්යාස එකට ගත්තම කියනවා ප්‍රදාහක ප්‍රතිචාරය (Inflammatory Response)  කියලා .
මේ සටනින් තුවාලය එතැනින්ම සුවකරලා ඉවර කරන්නයි මේ උත්සාහය.

වේදනාව නිසා  අපි දැනගන්නවා තුවාලය ටිකක් අමාරු බව. අපි ඒක පිරිසිදු කරලා බෙහෙත් ටිකක් එහෙම දා ගන්නවා. දියවැඩියා රෝගයෙන් පෙලෙන අයගේ ස්නායු දුර්වල නිසා කකුල් තුවාල වුනත් වේදනාව දැනෙන්නේ නෑ. ඉතින් තුවාලය නොදැනුවත්වම වැඩිවෙනවා. සෛලවල සීනි වැඩි නිසා වැඩි වැඩියෙන් බැක්ටීරියා වැඩෙනවා. ඒ නිසයි ඒ අය පාවහන් පැළඳිය යුත්තේ,අවදානම් තැන් වල ඇවිදින කොට.

Photo by Brian Patrick Tagalog on Unsplash 

Saturday, April 4, 2020

අසුබ වූ සුබ නැකත
























ගේත් පිරියම් කරල
හුගක් කල් නොවැ මැණිකෙ 
එහි පහන් දල්වන්න
හිටියෙ අග බක් මහේ 

පොඩි ගුරුන් ලඟට ගොස් 
හදන් ආ සුබ නැකත 
අසුබ වුයේ කිමද 
මේ තරම් ඉක්මනට 

කොරෝනලු බයානක 
යක්සයෙක් වගේ එන 
රූප පෙට්ටිය කියයි 
ගෙවල් ඇතුළෙම ඉන්න 

තනි කමේ සුසුම් මැද 
මං පුංචි කාමරේ 
අම්මගේ කෙඳිරිල්ල 
කුස්සියෙන් නිරතුරේ 

ඉතින් මගෙ සුදු මැණික 
අපි දෙන්න ගම් දෙකක 
අවුරුද්දකුත් නැතිලු 
මුණ වත් දැක ගන්න 

මේ මහා නොනගතය 
ගෙවිල ළඟදීම දිනක 
එනවනේ හෙට දිනේ 
මගෙ මැණික මගෙ ලඟට 

Thursday, April 2, 2020

කොරෝනා කාලේ සිහිවන අතීත මතක







දශක හයකට වඩා ටිකක් වැඩි ජීවිත කාලය ගැන ආවර්ජනය කිරීමට වෙලාව එළඹ තිබේ. එහි කීමට බොහෝ දේ වෙතත් මේ ඒ සියල්ලට කාලය නම් නොවේ. කුඩා කල සිට ලැබූ ජීවිත අත්දැකීම් වලින් යමක් මතක තබා ගත හැකි වන්නේ කුමන වයසක දී සිට ද යන්න මට ගැටළුවක් වේ. ඒ ගැන මට කිව හැක්කේ මගේ මතකයන් තුළ රැඳී ඇති දෙයින් පමණි. එය පුද්ගලානුබද්ධ වීමට පුළුවන. 

දැන් මගේ මාතෘකාව බෝවන රෝග ලෙස ගනිමි. අවුරුදු දෙකේ වයසේදී මට සරම්ප රෝගය වැළඳී තිබේ. දරුණු උණ සුව වීමත් සමග  සම ගැලවී යාමට පටන් ගෙන තිබේ. ඒ කුඩා වයසේදී ජංගියක් පමණක් ඇඳගෙන බඩේ සම ගැලවූ බව මතකයට නැංවීම මට කුඩා කල ගැන ඇති ප්‍රථම මතකයි. ඉන් පසු නිවසේ කිහිප  අවස්ථාවකම බෝවන රෝග වැළඳුනු අවස්ථා පැමිණියද මා රෝගී නොවුනි. නැවත යොවුන් අවදියේ දී කම්මුල් ගාය ද, ඇස් රෝගය (Conjunctivitis)  ද වැළඳී තිබේ. ඊටත් පසුව ජර්මන් සරම්ප වැළඳුනි. වාසනාවකට එවේලේ මා ගර්භනී වී සිටියේ නැත. මගෙන් එය එකල කුඩා දැරියක වූ දියණියට වැළඳුනි. 

දරුණු බෝවන රෝගයකට සමාජයක් ලෙස මුහුණ දිමේ ඍජු අත්දැකීම් අපට නැත. නමුත් 70 ගණන් වල වසූරිය රෝගියෙක් රටට පැමිණීම නිසා දෙවන වරට අප වසූරිය සඳහා එන්නත් කළ සලකුණ අදටත් වමතේ පහළ බාහුවේ තිබේ. මැලේරියා වසංගතය නිසා එකම පවුලේ කිහිප දෙනකු මිය ගොස් අායු අපෙක්ෂාව ද බොහෝ පහළ ගිය හැටි අපේ වැඩිහිටියන් පවසා තිබේ. එමෙන්ම දෙවන ලෝක යුද සමයේ අාහාර හිඟය දරුණු ලෙස තිබුණු බවත් පාන් පිටි පමණක් අාහාරයට ගැනීම නිසා මාන්දමට ගොදුරු වී මිනිසුන් මිය ගිය හැටිත් අපේ වැඩිහිටියන් දැක අැත. 

කොලරා වසංගතයක් පිලිබඳ රාවයක් 1973-74 කාලයේ ඇසීමට ලැබුණි. යාපනයෙන් ඇරඹුණු මෙය ඉන්පසු වවුනියාවට ද ,කොළඹට ද රටේ තවත් ප්‍රදේශ වලටද පැතුරුණු බව මේ ලිපිය ලිවීමට පෙර සොයා බැලීමෙන් දැන ගතිමි. අප ජීවත් වූ ගාල්ල ප්‍රදේශයට මෙහි එතරම් බලපෑමක් නොවුනි. නැවත 1991/92 දී හා 1997/98 දී කොලරාව පැතිර ගොස් තිබේ. කොලරාව පාචනය ඇති කරන බැක්ටීරියා රෝගයක් වන අතර මිනිස් මළ ජලය හා ආහාර සමග පැතිර යන එකකි. 

රෝග තත්වයන් ම නොවුන ද යම් යම් ව්‍යසනකාරී තත්වයන් ගණනාවකට මේ දශක හයක ජීවිතය මුහුණ දී තිබේ. අපට මතක 1971 කැරැල්ල , 1983 කළු ජූලිය 1988-89 ඉන්දු ලංකා ගිවිසුම සමග නැගී සිටිම යන අවදිවල පාසල් /විශ්ව විද්‍යාල වසා වසා තැබීම, අැදිරි නිතිය, ආහාර හිඟ විම යන අවස්ථාය. සලාක ක්‍රමයට සමුපකාර මගින් පමණක් වියළි ආහාර බෙදා දෙන ලදි. පෝලිමේ සිට එ ආහාර අසීරුවෙන් ලබා ගැනීමට සිදු විය. 88-89 පාසල් වැසූ නමුත් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බැවින් පයින්ම සැතපුම් අටක් පමණ ගමන් කළ හැටි මතක් වේ. 

තව 1970-77රජය ආනයනය සීමා කළ බැවින් අතැම් අාහාර රෙදිපිළි හිඟ විය. ලද දෙයින් සතුටු වීමට සිදු විය. මේ පිඩනය පුපුරා යාම 77 නව පාලනය බිහි වීමට මග පාදන ලදී. 1979 දී ද ළදරු කිරිපිටි මිළ දී ගැනීමට උප්පැන්න සහතිකය රැගෙන පෝලිම් වල සිටීමට සිදු විය. එයින් පසු වෙනස් වෙමින් අා ජීවන තත්ත්වයන් අපට ක්‍රමයෙන් අධි පරිභෝජනය හුරු කරවන ලදි. එය අැති හැකි එකාට ඕනෑවටත් වැඩිය කළ හැකි වීම නිසා නැති බැරි අය තුළ අසහනය වැඩි කිරීමට හේතු විය. හොරකම්, දූෂණ, මංකොල්ලකෑම් එහි ප්‍රතිඵලය විය. ක්‍රමයෙන් රටම යැපිම් අර්ථ ක්‍රමයකට හැරුනි. නිෂ්පාදනය අඩුවී සේවා සැපයීම වැඩි විය. තිස් අවුරුද්දකට අසන්න යුදමය තත්වය බිය, ශෝකය, සංකාව ඇතිකළ වෙනස්ම තත්වයකි. 2004 සුනාමිය බිහිසුණු අත්දැකීමකි. මේ හැර කෙලින්ම බල නොපෑ නමුත් ගං වතුර, නාය යාම්, නියග ආදිය ගැන ද අත් දැකීම් රැසකි. 

දැන් අලුත් ම තත්ත්වයකට අපි මුහුණ දී සිටිමු. ඒ කොරෝනා ලෝක අධිවසංගතයට මුහුණ දීමට සිදු වීමයි. මෙය අප සියළු දෙනාටම අලුත්ම අත්දැකීමකි. මීට පෙර මෙවැන්නක් ගැන අසා තිබුණා නම් ඒ ප්‍රබන්ධ කතාවකය. දැක තිබුණා නම් චිත්‍රපටයකය.සේවා සැපයීම් බොහෝ දුරට සීමා වී තිබේ. ගමනාගමන, ප්‍රවාහනය අඩපණ වී තිබේ. අාහාර සපයා ගැනීම, අත්‍යාවශ්‍ය දේ සපයා ගැනීම අසීරු අඩියකට පත් වෙමින් පවතී. බිය පැතිරෙමින් තිබේ. අපි නිවෙස් තුළ ස්වයං සිරමැදිරි වල සිරවී සිටිමු. අත් සෝදමු. ඈත්ව සිටිමු. මේ සියල්ලද වරප්‍රසාද බව ද ගෙයක් නැති කෙනෙකුට 'Stay at home'  කෙසේ වන්නට පුළුවන් ද කියාත් , වතුර නැති ජනතාව අත් සෝදන්නේ කෙලෙස ද කියාත්, සීමා සහිත කුඩා ඉඩ වල ඈත්ව ඉන්නේ කෙලෙස ද කියාත් ලෝකයේ ඇති අසමානතාව අපෙන් ප්‍රශ්න කරයි. අපි මෙතෙක් මිරිඟුවක් පසුපස දිවගිය මුවන් වූවෙමු ද ? ධනයට බලය ට තවමත් තැන තිබෙන බව පෙනේ. එහෙත් ලෝක බලවතුන් ද අසරණව ඇති සෙයකි.   

පරිභෝජනය අඩුකර ගැනීමට ඉහළ හා පහළ මධ්‍යම පන්තිකයන්ට හුරු වීමට අසීරු වුවත් එය කළ යුතු තත්ත්වයකට පත් වෙමින් තිබේ. වෙනදා මේ වන විට අවශ්‍ය, අනවශ්‍ය කොයි තරම් රෙදි පිළි, අනිකුත් භාණ්‌ඩ අපේ ගෙවල් වලට ඇවිත් ද? මේ අසීරු අවස්ථාව කළමනාකරණය කර ගැනීමට යුහුසුළු වෙමු. ඉදිරිය‍ අපැහැදිලිය. අඳුර දුරු වී ආලෝකය පහළ වේවා යි පතමි.

Thursday, March 26, 2020

Corona the King




You've brought us a hard time,
Hard time for the mankind,
Can't realize where we were all,
Before the beginning of this time.

I can't actually imagine
What a difference you have made?
Oh! you are the ruler, Corona the king,
You have made us to reveal reality.

You have erased the borders,
You have broken the  walls;
Finally you have taught us,
What the 'global village' is.

Corona you are our king now,
Wearing the throne on your head,
All the powerful nations have bowed,
And knelt down before your feet.

You are now ruling the world,
The world that was destroyed by us,
When the world starts to heal,
Dear Corona! can you go back.....

Wednesday, March 18, 2020

COVID 19 - නව කොරෝනා වයිරස් රෝගය




  • COVID 19 බෝවන්නේ කෙසේ ද ?


ප්‍රධාන වශයෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුටය.

1. ආසාදිතයෙකුගෙන් අඩි 6ක පරතයක් ඇතුළත සමීප සබඳතා ඇතිව සිටින කෙනෙකුට.

2. ආසාදිතයාගේ කැස්ස හා කිවිසුම සමග පිටවන ශ්වසන මාර්ග ශ්‍රාවයන් බිඳිති ලෙස ආශ්වාස කිරීමෙන්. මේ බිදිති තොල්, නාසය වැනි තැන්වල තැන්පත් වීමට ද පුළුවන්.


  • කෙනෙක් රෝග ලක්ෂණ නැතුව රෝග බෝකරන කෙනෙකු වෙන්න පුළුවන් ද? 


1. වැඩියෙන්ම රෝගය බෝවන්නේ ආසාදිතයා තදින්ම රෝගීව සිටින විට.

2.රෝග ලක්ෂණ නොපෙන්වා සිටින කෙනෙකුගෙන් රෝගය පැතිරීම ඇතැම් විට විය හැකි බව වාර්තා වී තිබෙනවා.


  • වයිරස අංශු තැන්පත්වූ පෘෂ්ට මගින් බෝවීම සිදුවනවා ද ? 


ඔව්.  වයිරස් සහිත ශ්‍රාවයන් තැවරුණු පෘෂ්ට ස්පර්ශ කර ඒ අත් වලින් නාසය මුඛය, හා ඇස් ස්පර්ශ කිරීමෙන් රෝගය බෝවීමේ ඉඩක් තිබෙනවා.


  • වයිරසය වේගයෙන් පැතිරෙනවා ද ?

ඔව් , පහසුවෙන් හා අඛණ්ඩව පැතිරෙමින් තිබෙනවා. ප්‍රජා පැතිරීම (Community spread) පෙන්වනවා. එනම් යම් රෝගියෙක් නිශ්චිතව දන්නේ නැහැ ඔහු කෙසේ කොහෙන් රෝගී වුණා ද කියලා .

Photo by Ani Kolleshi on Unsplash

තොරතුරු CDCමගින්

Thursday, March 12, 2020

නිරෝධායනය (Quarantine) යනු කුමක් ද ?




යම් පුද්ගලයකු, සත්වයෙකු හෝ පැළෑටි රටකින් රටකට ගෙන යනවා නම් ඒ ග්‍රාහක රට නීති සම්පාදනය කරලා තියෙනවා ඒ අලුතින් ඇතුල්වෙන පුද්ගලයින් ,සත්තු හෝ පැළෑටි යම් කාලසීමාවක් රඳවා ගෙන යම් රෝගකරකයක්, පලිබෝධයක් නැද්ද යන්න තහවුරු කරලා ඊට පස්සේ නිදහස් කරන්න. ඒ සඳහා ස්ථාන සකස් කරලා තියෙනවා. මේ ක්‍රියාවලිය තමයි නිරෝධායනය කියන්නේ.

මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Quarantine කියලා. එහි තේරුම 'forty days’( quaranta giorni‘  කියන ඉතාලි වදනෙන් බිඳී ආවක් ).ලෝකයේ මෙවැන්නක මුලාරම්භය 14 වන ශත වර්ෂයේ සිදුවී ඇත්තේ මහාමාරිය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන්. රෝගය තිබු වරාය වලින් වෙනිසියට ලඟා වන නැව් වලින් ගොඩ බැසීමට පෙර දින හතළිහක් නැංගුරම් ලා තබා තිබෙනවා.

මේ සඳහා ලංකාවේ නීතිමය  ප්‍රතිපාදන  සකස් වී තිබෙන්නේ 1897 (වරින් වර සංශෝධන ඇත ) ජාතික නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත  ඇතුළු පනත් කීපයකින්. නීරෝධායනයට විරුද්ධ වෙන අයට පැනවිය යුතු දඬුවම් ද එහි දක්වා තියෙනවා. ශ්‍රී ලංකාවේ දිගටම පැළෑටි සහ සත්ව නිරෝධායනය කරගෙන ආවා. ඒ සඳහා ආයතන තිබෙනවා. කටුනායක ඇති පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානය එවැන්නක්.

මෙය මිනිසුන්ට අදාළ වන මෑත ඉතිහාසයේ නිදසුන් ලංකාවෙන් නැහැ. තරමක් ඈත අතීතය මෙහෙම දක්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දියතලාව කඳවුරක ජර්මන් සිරකරුවො 150ක් රඳවලා ඉඳලා ඔවුන්ට වසුරිය හැදිලා වැඩි දෙනෙක් මැරිලා තියෙනවා. ඉන් පස්සේ 1863දී වසුරිය සඳහා එන්නත් කිරීම අනිවාර්ය කරලා තියෙනවා.   1897 තමයි නිරෝධායන පනත බලාත්මක කරලා තියෙන්නේ. ඒ අවුරුද්දෙම රාගම ප්‍රථම නිරෝධායන කඳවුරක් පිහිටවල තියෙනවා. ඉන් පසු යාපනය හා දකුණු ඉන්දියාවේ මෙවැනි කඳවුරු පිහිටුවා තිබෙනවා.

 දැන් COVID 19 නිසා නැවත ඉතිහාසය අලුත් වෙමින් ඉදිරියට එනවා.

මෙතෙක් රටක ඉඳලා බීජ, පළතුරු ආදිය නිදහසේ මෙරටට ගේන්න එපා කියන එක ඔබ තේරුම් නොගත්ත නම් ඒ දෙය තේරුම් ගන්නත් මේ හොඳම වෙලාව. අපි සැම මේ COVID 19 ව්‍යසනයෙන් රට බේරා ගැනීමට අපට හැකි පමණින් දායක වෙමු. ඒ සඳහා වගකිව යුතු අංශ අප වෙත ලබාදෙන උපදෙස් මත කටයුතු කරමු.



Photo by L N on Unsplash

Thursday, March 5, 2020

'වයිරස් වයිරස්'



                                                                  Corona Virus

'වයිරස්, වයිරස් 'කිව්වාට මේ දේ ගැන බොහෝ දෙනෙකුට හරි වැටහීමක් නැහැ කියල හිතෙනවා. ඉතින් මේ ගැන යම් අදහක් දෙන්නයි මේ සුදානම. ලෝකයේ ජීවීන් හා අජීවී දේවල් තිබෙන බව ඔබ දන්නවා. ජීවී හා අජීවී අතර තියෙන දෙයක් තමයි වයිරස්.

1. ජීවීන් හැදිලා තියෙන්නේ සෛල කියන කුඩා ඒකක වලින්.
2.ජීවීන්ට ආහාර , වාතය ,ජලය අවශ්‍ය වෙනවා.
3. ජීවීන් හුස්ම ගන්නවා.
4. බහිශ්‍රාවය කරනවා.
5. පැටවුන් බෝ කරනවා, හෙවත් ප්‍රජනනය කරනවා.
6. ජීවී සෛලවල DNA ,RNA දෙකම තියෙනවා.
7. ඒ DNA/RNA  වෙනස්වීම නැත්නම් විකෘති ඇතිවීම සිදු වෙනවා.

හැබැයි වෛරස් වල සෛල කියා දෙයක් නැහැ. තිබෙන්නේ වෛරස් අංශු. වෛරස වල හුස්ම ගැනීමක්, ආහාර ,ජලය ගැනීමක් නැහැ. තිබෙන්නේ එක්කෝ DNA  නැත්නම් RNA .

වයිරස් අංශුව මැද මේ DNA  හෝ RNA  අණුවකුත් ඒ වටා ප්‍රෝටීන කොපුවකුත් තිබෙනවා. සමහර වයිරස් අංශු වලට අමතර ලිපිඩ හා ප්‍රෝටීන වලින් හැදුණු කවරයක් තිබෙනවා. නව කොරෝනා  වලත් ඒ අමතර කවරය තිබෙනවා.

ඉතින් මෙහෙම බැලුවොත් වයිරස් අජීවී. නමුත් වයිරස් වලට ජීවීන්ට තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා.

1. පැටවුන් හදනවා.
2. DNA   හෝ  RNA වල විකෘති ඇතිවෙනවා.

මෙන්න මේ නිසා වෛරස් ජීවී අජීවී අතර ඉන්න සුවිශේෂී දෙයක්.


වයිරස් විනාශ කරන්න පුළුවන් ද ?

ඔව්, වයිරස් අධික තාපයේදීත්, ඇතැම් රසායනික ද්‍රව්‍ය වලිනුත්, සුර්ය විකිරනයෙනුත් විනාශ වෙනවා. හැබැයි ඇත්තටම වයිරස් 'මරනවා' කියල දෙයක්  තියෙන්න බැහැ . ඇයි?මැරෙන්න නම් ජීවත් වෙන්න ඕන.  ඉතින් වයිරස් ජීවත් වෙන්නේ නැහැ නේ ? විනාශ වීමකදී වෙන්නේ ඒවායේ DNA හෝ RNA   විකෘති වීම හා ප්‍රෝටීන් විනාශ වීම පමණයි. 


වයිරස් අපට ලෙඩ හදන්නේ ඇයි ?

වයිරස් තම පැටවූ හදන්න නම් ජීවී සෛලයක උදව් ඕන කරනවා. ජීවී සෛලවලට වයිරස් ඇතුල් වෙනවා. ඒ සඳහා හැකියාව ඒවාට තිබෙනවා. එහෙම ඇතුල් වෙලා ඒ ජීවී සෛලයේ හැම දෙයම අයිති කරගෙන පරපෝෂිතයෙක් වෙනවා. එවිට වෛරසයට පුළුවන් තම පැටව් සිය ගණනක් හදන්න. එහෙම හැදුවට පස්සේ අර ජීවී සෛල විනාශකර ගෙන හැදුණු පැටව් විසිරෙනවා. අර ජීවී සෛලය හෝ සෛල අයිති අය රෝගී වෙනවා. සෛල විනාශ වීම නිසා. අර පැටව් තව අලුත් ජීවීන් ලෙඩ කරනවා. ඉතින් ලෙඩ පැතිරෙනවා.

වයිරස් හරිම කුඩායි. ඒවා මනින්නේ නැනෝ මීටර් වලින්. නැනෝ මීටරයක් සමානයි මීටර් 0.000000001කට. වයිරස් සාමාන්‍යයෙන් නැනෝ මීටර් 20 ත් 400ත් අතර වෙනවා.

වයිරස් වර්ග රැසකුත් වයිරස් රෝග රැසකුත් තියෙනවා. අතීතයේ තිබු භයානක වයිරස් රෝගයක් තමයි වසුරිය. ඒ රෝගය එන්නත් මගින් ලෝකයෙන් තුරන් කෙරුණා 1980 දී. එදායින් තමයි එන්නත් කිරීම නතර කෙරුණේ. මා ඇතුළු ඊට පෙර ඉපදුණු අයගේ බාහුවේ ඉහළ කෙළවරේ මේ එන්නත් ලකුණ තියෙනවා. 

මේ හැර අපට පුරුදු වයිරස් රෝග තමයි පැපොල, සරම්ප, කම්මුල් ගාය, ජර්මන් සරම්ප, පෝලියෝ ,  AIDS වගේ ඒවා.   AIDS ඇර මෙහි කියූ අනික් ඒවාට එන්නත් තියෙනවා.

වයිරස් රෝග දෙවියන්ගේ ලෙඩ ද?

පැපොල ,සරම්ප වගේ රෝග හැදිලා ටික දිනකින් ඉබේ හොඳ වෙනවා. ඉතින් මිනිස්සු හිතුවා ඒවා දෙවියන් කෝප වීමෙන් හැදෙනවා කියලා.

වයිරස් රෝග ඉබේ හොඳ වෙන්නේ ඇයි ?

රෝග කාරක වයිරසය ශරීර ගත වුනහම ක්‍රමයෙන් එය විනාශ කිරීමට දායක වන ප්‍රතිදේහ ශරීරයේ හැදෙනවා. ඒ මගින් රෝගය සුව වෙනවා. මේ වන විට ප්‍රති වයිරස ඖෂධ වර්ග ( Antiviral drugs like Interferon) ද තිබෙනවා. නමුත් ප්‍රතිජීවක වයිරස සඳහා ක්‍රියාත්මක වන්නේ නැහැ. ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ බැක්ටීරියා හා දිලීර රෝග වලට පමණයි.

මෙසේ ඒ ඒ වයිරස් රෝග හැදුනහම ශරීරයේ සෑදෙන ප්‍රතිදේහ සමහර විට මුළු ජීවිත කාලයේම පවතිමින් දෙවෙනි වර එම රෝග සෑදීම වළක්වනවා. එන්නත් මගින් කරන්නේ රෝගය නොහැදීම ශරීරයේ ප්‍රතිදේහ ඇති කරවීම. සමහර වයිරස රෝග වලට නිමි ප්‍රතිදේහම එන්නත් කරන අවස්ථා තියෙනවා. ජලභීතිකාව සහිත සතෙක් සපා කෑ විට හෝ පිටගැස්ම සෑදීගෙන එනවිට එසේ කරනවා.

එන්නතක් නිපදවීමට කාලයක් පර්යේෂණ කරන්න වෙනවා. වයිරස්වල වෙනස් වන සුළු බව නිසා ඇතැම් වයිරස් රෝග සඳහා එන්නත් නිපදවීම අපහසුයි. AIDS හා ඩෙංගු එවැනි රෝග. අද ඇතිවී තිබෙන නව කොරෝනා සඳහාත් එන්නතක් නිපදවීමට මේ වන විට ලොව පුරා පර්යේෂණ දියත් වෙමින් තියෙනවා.